12/04/2026
ශ්‍රී ලංකාවට නව ශාක ගණයක්
මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවකට අනුව, Convolvulaceae (කංකුන් කුලය) කුලයේ වර්ගීකරණයේ සුවිශේෂී වෙනසක් සිදු කර ඇත. මෙතෙක් Ipomoea ගණයට අයත් යැයි සැලකූ ඇතැම් ශාක විශේෂ, ඒවායේ ඇති සුවිශේෂී රූප විද්‍යාත්මක සහ ජානමය ලක්ෂණ නිසා "Muigaia" නමැති නව ගණයකට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාවට බලපාන ප්‍රධාන වර්ගීකරණ වෙනස්කම්
මෙම නව වර්ගීකරණය ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දක්නට ලැබෙන විශේෂ දෙකක් සඳහා සෘජුවම බලපානු ලබයි:
Muigaia coptica (මීට පෙර Ipomoea coptica):
ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශවල සුලභව දක්නට ලැබෙන මෙම විශේෂය, මින් ඉදිරියට Muigaia coptica ලෙස හැඳින්වේ. මෙය අප්‍රිකාව සහ ආසියාව පුරා ව්‍යාප්ත වී ඇති වඩාත් සුලභ විශේෂයයි.
Muigaia palmatisecta (මීට පෙර Ipomoea palmatisecta):
මෙතෙක් කල් Ipomoea coptica හි ප්‍රභේදයක් ලෙස (var. acuta) සැලකූ මෙම ශාකය, දැන් ස්වාධීන විශේෂයක් ලෙස උසස් කර ඇත. Muigaia palmatisecta ( =Ipomoea palmatisecta) ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව පවතින බව මෙම පර්යේෂණ පත්‍රිකාව තුළ පවසා තිබුණද, එය මෙතෙක් ශ්‍රී ලංකා ජාතික රතු දත්ත පොතට ඇතුළත් කර නොමැත.
නව ගණය හඳුනාගැනීමේ ලක්ෂණ
Muigaia ගණය අනෙකුත් කංකුන් විශේෂවලින් වෙන්කර හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ කිහිපයකි:
කඳ: පැහැදිලිවම කෝණාකාර (Markedly angular) සහ සිනිඳු ස්වභාවයක් ගනී.
පත්‍ර: ඉතා ගැඹුරට බෙදුණු පත්‍ර (Palmately lobed) සහ පත්‍ර නටුව පාමුල කුඩා කොළ වැනි කොටස් (Leaf-like stipules) පිහිටා ඇත.
පුෂ්ප මංජරිය: සුදු පැහැති කුඩා මල් හටගන්නා අතර, කලංකය (Stigma) ගෝලාකාර කොටස් 3කින් සමන්විතය.
ඵලය: මෙම ගණයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එහි බීජ කෝෂය (Capsule) කපාට 6කින් (6-valved) යුක්ත වීමයි. (සාමාන්‍ය Ipomoea ගණයේ ඇත්තේ කපාට 4කි).
මෙම පර්යේෂණ පත්‍රිකාව මගින් මෙම විශේෂ ලෝක මට්ටමින් "අඩු අවදානම්" (Least Concern) ලෙස නම් කර තිබුණද, ශ්‍රී ලංකාව තුළ ඒවායේ සීමිත ව්‍යාප්තිය සලකා බැලීමේදී, ඉදිරි රතු දත්ත වාර්තා යාවත්කාලීන කිරීමේදී මේවා ස්වාධීන විශේෂ ලෙස තක්සේරුව්ක් ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය වේ.
Muigaia ගණය ස්ථාපිත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ උද්භිද විද්‍යා නාමාවලිය යාවත්කාලීනවේ. විශේෂයෙන්ම Muigaia palmatisecta වැනි විශේෂ ලාංකීය පරිසර පද්ධතිවල පවතිනවාද නැතිද යන්න තත්ත්වය පිළිබඳව නව ක්ෂේත්‍ර අධ්‍යයනයන් සිදු කිරීමත්, ඒවා නිවැරදි නාමකරණයෙන් යුතුව ජාතික සංරක්ෂණ ලැයිස්තුවලට එක් කිරීමත් පරිසරවේදීන්ගේ සහ උද්භිද විද්‍යාඥයින්ගේ වගකීමකි.
✒ Research team: Simon Wachira Ngima, Vivian Kathambi, Samuel Paul Kagame, Sushant More, Lauren A. Eserman, Rafael Felipe de Almeida, Benoit Loeuille, Marc S. M. Sosef, Patrick Chalo Mutiso, Higor Antonio-Domingues, Lars W. Chatrou & Ana Rita Simões
🔗 DOI: 10.1007/s12225-025-10366-w
📰 Issue: Kew Bulletin Volume 81, pages 61–82, (2026)
📅 Published: 18 February 2026
පරිසර සමාගම පිටුවෙන් උපුටාගන්නා ලද්දකි.