23/08/2026
නිවී ගිය ලාංකේය සංස්කෘතික උරුමය !
"ජීවිතය කවියක්
ආදරය එහි සොඳුරුතම වදනක්.."
"ඔබ ගැන සිහිවෙනවා එතකොට .."
ලංකාද්වීපයේ , ජාතියේ පිනට වර්ෂ 1943 නිකිණි මස 23 වනදා හරියට ම අද වගේ දවසක උපත ලබන නන්දා මාලිනිය වනාහි මෙරට සංගීත වංශ කතාවෙහි අසහාය කන්තා පෞරුෂය වන්නී ය .
1956 බොරැල්ල YMBA දී පැවැති ගායන තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමත් සමඟ ගායන දිවිය අරඹන ඇය ,කරුණාරත්න අබේසේකරයන්ගේ එකල අතිශය ප්‍රකට ගුවන්විදුලි වැඩසටහන වූ ළමා මණ්ඩපය තුළින් ගායිකාව ක ලෙසට කලඑළි දුටුවාය.
මාලිනිය හෙළ සිනමා වංශ කතාවෙහි පළමු වර්ණ සිනමාපටයෙහි ගායන දායකත්වය ලබාදීමට වරම් ලැබුවා සේම එවසරෙහි හොඳ ම ගායිකාව ලෙසට සම්මානයෙන් පිදුම් ලද්දී ය.
එතැන් පටන් සරසවි සම්මාන 11 ක් සමඟින් ජනාධිපති සම්මාන 8ක් ලබා ලංකාවේ වැඩි ම ජනාධිපති සම්මාන ප්‍රමාණයක ට හිමිකම් කියූ ලාංකිකයා වීමට තරම් නන්දා මාලිනිය සුවිශේෂී විය.
තම පෑන මෙහෙයවා ජාතිය පුබුදුවා ලූ අභිමානවත් නිර්මාණකරුවන් ගේ ගමන් මඟ තෝරාගත් මාලිනිය , ඈට සහජයෙන් ම උරුම වූ ගාම්භීර හඬ පෞරුෂ මහිමයෙන් ජාතියේ උන්නතිය උදෙසා අයුක්තියකට එරෙහිව විමුක්තියේ ගී ගැයීමට තරම් ඈ එඩිතර වූවාය .
උපන් බිමට ණය නැති මිනිසකු ලෙසින් සිය අවසන් හුස්ම ගාම්භීර ලෙසට ලක් වා තලයට මුසුකළ ආචාර්ය නන්දා මාලිනිය නි, මතුවටත් මේ බිමෙහි උපදින්නවුන් ඔබේ ගී සදානුස්මරණීය ව රසවිඳිනු ඇත.ඔබව හරසරින් අගයනු ඇත.
ඔබට ගෞරව ප්‍රණාම !!
ඔබේ සෞම්‍ය සඳ එළියේ
මුදු සුවඳ හන්දා
මගේ ලොව සිත් අහස
රහසින්ම වින්දා
නීතියෙන් කොටු නොවුණු
සෙනෙහසක් රන්දා
අමාවක සඳක් වී
බැස ගියේ ද නන්දා...
එදා මාගේ වදන් ගැලපුම්
කළා ඔබගේ මියුරු ස්වරයන්
එකට අත් බැඳ නොහැකි වූවත්
තැබුවේ පියවර ඔබත් සමගින්
ජීවිතේ රඟ මඬල සැණෙකින්
නිරුත්තර වන බව පසක් කරමින්
අහස සේ ඔබ අනන්තව මට
දැනෙයි තාමත් පුරුදු සුවඳින්
සටහන - සෙහන්ති දිලක්නා
පද පැබැඳුම - සෞභාග්‍යා අනුහසිනි
සාහිත්‍ය අනුකමිටුව
නීති පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්ව විද්‍යාලය