Nimal Wijesiri public page

Nimal Wijesiri public page Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nimal Wijesiri public page, College & University, Brisbane.

18/01/2025

බස් කතා 03
ලංකාවේ බස්‍ රථ සේවාව දියුණු රටවල් එක්ක සසඳන එක තාර්කික නොවෙන්න පුළුවන් . ඒ උනත් දියුණු රටක ගුණාත්මක බස් සේවාවක තියෙන බොහෝ අංග බාධාවක් නැතුවම අපේ රටේ භාවිතයට ගන්න හරිම පහසුයි .
බස් සේවකයින්ගේ වගේම ජනතාවගේ ද ආකල්ප සංවර්ධනය කිරීමත් ඒ සෑමදෙනාටම අදාළ නීති බලාත්මක කිරීම සහ ක්‍රියාත්මක කිරීමත් ගොඩාක් වැදගත් .
නියමිත වෙලාවට බස් ධාවනය කිරීම ගැන විතරක් මේ සටහනෙන් අදහසක් ඉදිරිපත් කරනවා .
දැනට ලංකාවේ බොහෝ බස් නැවතුම්වල බස් ධාවනය පාලනය කරන්නේ පාතාල කණ්ඩායම් මගින් බව ප්‍රසිද්ධ රහසක්. ඒ වගේම බස් රියැදුරන් කාලය අවභාවිත කරන්නේ මගීන්ගේ කාලය නාස්ති වන ආකාරය ගැන අල්පමාත්‍ර හැඟීමක්වත් නැති විදිහටයි.
මේ ගැටලුව සහ අසාධාරණය බොහෝ විට සිදු වෙන්නේ කෙටි දුර ධාවනය කෙරෙන බස් රථවලයි.

එක උදාහරණයක් විතරක් කියන්නම්.
මහකන්ද සිට මහනුවර බලා ධාවනය වන බසයක් ගමන්වාරය පටන් අරන් පැයට කිලෝමීටර් එකක විතර වේගයෙන් මීටර් 20ක් විතර ඉස්සරහට ගාටනවා. ඊට පස්සේ බස් එක පාර මැද නතර කරගෙන රියැදුරු දුරකථන ඇමතුම් පටන් ගන්නවා. එතැන පාර පටුයි. පසුපසින් එන කිසිම වාහනයකට බස් එක පසු කරලා යන්න බෑ.
විවිධ රැකියාවලට වෙලාවට යන්න පෞද්ගලික වාහනවලින් එන අය පෝළිමේ ඉඳන් නොනවත්වා නලා ශබ්ද කරනවා. හැබැයි බස් එකේ රියැදුරු ඒවා තඹ සතේකට මායිම් කරන්නෑ. කවුරුත් හෝ වරදා පෙන්නලා දෙන්න ගියොත් එක්කෝ ගුටි නැත්නම් බලු බැනුම් අහගෙන ආපසු එන්න වෙනවා විතරයි .
මේ පාරේ වේගයෙන් ධාවනය වන දෙල්තොට බස් තිබුණත් මහකන්ද සහ පේරාදෙණිය අතර සිටින කිසිම මගියෙක් නංවා ගන්න ඒ බස්වලට අවසරයක් නෑ. ඒ කැළෑ නීතිය හදාගෙන තියෙන්නේ මහකන්ද බස් හිමියන් විසින්.
පැයට කිලෝමීටර් විස්සක වේගයෙන් ගියත් විනාඩි පහකින් යන්න පුළුවන් මහකන්ද සහ පේරාදෙණිය අතර ගමන් වාරයක් සඳහා මහකන්ද බස් රියැදුරන් පැය භාගයක් හෝ ඊට වැඩි කාලයක් කා දමනවා.
ප්‍රදේශවාසීන්ට අමතරව විශ්වවිද්‍යාල ප්‍රජාව මේ නිසා බරපතල ලෙස පීඩා විඳිනවා .
ඕස්ට්‍රේලියාව වගේ රටක බස් ධාවනය වන කාල සටහන අන්තර්ජාලයෙන් බලා ගන්නත් පුළුවන් . ඒ වගේම සෑම බස් නැවතුමකමත් අදාළ කාල සටහන තියෙනවා . හරියටම වෙලාවට බස් රථය එනවා සහ යනවා. බස් නැවතුම්වල මගීන් ඉන්නේ පෝළිමට. හරියටම අදාළ ස්ථානයේ බස් එක නතර කරනවා. දුවගෙන ගිහිල්ලා එල්ලෙන්න ඕන නැහැ.
බසයට ගොඩවෙන සෑම මගියෙකුටම රියැදුරු ආචාර කරනවා. කොන්දොස්තරලා නෑ. තමන්ගේ බස් කාඩ් එක මැෂින් එකට ටච් කරලා මගීන් නගිනවා, බහිනවා, අදාළ මුදල කැපෙනවා. හරිම සරලයි. ඉතුරු සල්ලි හෝ මාරු කාසි ගැටලු නෑ.
බොහෝ විට මගීන් ඇතුළු වෙන්නේ ආසන ගණනට විතරයි . එක බස් එකක් මග හැරුණා කියලා ලොකු ගැටලුවක් නැහැ. විනාඩි කිහිපයකින් ඊළඟ බස් එක එනවා. ඒක සක්‍රීය අඛණ්ඩ බස් සේවයක්.
මගීන් අසුන්වල වාඩිවන තුරු රියැදුරු බසය ඉදිරියට ගන්නෑ. රෝද පුටුවක මගියෙක් සිටියොත් රියැදුරු අසුනෙන් බැස මගියාට අවැසි පහසුකම් සපයා බසයේ නිසි තැන රෝද පුටුව ස්ථානගත කරනවා.
බස් රථයෙන් බැස යන මගීන් රියැදුරුට ස්තුති කරලා යන්න අමතක කරන්නෑ.
කිසිම බස් රථයක අනවශ්‍ය විදුලි වැල් හෝ ආලවට්ටම් නෑ. TV හෝ කැසට් යන්ත්‍ර අහළකවත් නෑ. එක් මගියෙක් අනෙක් මගියාට බාධා වන විදිහට තමන්ගේ ජංගම දුරකථනයෙන් වත් ගීතයක් අහන්නෑ.
රියැදුරුට ධාවනය අතරතුර දුරකථන භාවිතය තහනම්. ඒ වගේම රියැදුරු සමග කතා කිරීම මගීන්ටත් තහනම්. බලන්නකෝ මිනිස්සුන්ගේ ජීවිතවලට මහපාරෙදි වටිනාකමක් දෙන හැටි.
ඉඳලා හිටලා විනය විරෝධීව හෝ නීති විරෝහීව හැසිරෙන මගියෙක් හිටියොත් ඉතා ඉක්මණින් ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා.
බස් රථ ඇතුළේ කෑම බීම තහනම්. ඒවයේ ජනේල අරින්න බෑ. සියලු බස් රථ වායු සමනය කරලා තියෙන්නේ .
ලංකාවේ තත්ත්වය කියන්න අවශ්‍ය නැහැනේ. නිකමට හිතලා බලන්න අපේ රටේ මිනිස්සු බස්වල මොන දුකක්ද විඳින්නේ කියලා . මම ඔය කියපු ඕස්ට්‍රේලියාවේ පහසුකම් ලංකාවේ බස්වල ඇති කරන්න ඇත්තටම අපි සංවර්ධිත රටක් වෙනකල් ඉන්න ඕනිද? මම කිව්වේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අත්දැකීම් විතරයි .

11/01/2025

බස් කතා 02.
පාට පාට ලයිට් දාපු බස් දැකලා ඇතිනේ. ඈතින් යන කොට තොරණක් වගේ ලස්සනයි නේද? බස්වල පිටත වටේටම සවිකර ඇති වෛවර්ණ ආලෝකධාරා නිසා අනෙක් වාහනවල රියැදුරන්ට (විශේෂයෙන් කුඩා වාහනවලට) වාහන ධාවනයට ලොකු බලපෑමක් සිදු වෙනවා. ඒක මාරක රිය අනතුරුවලට පවා හේතුවක්.

බස් රථවල ගමන් ගන්නා මගීන්ට මෙවැනි ආලෝක ධාරා නිසා සිදුවන හානිය තවත් භයානක පැතිකඩක්. වේගයෙන් එකදිගට ගැස්සෙන හා වෙනස් වන විවිධ ආලෝක ධාරා අඛණ්ඩව පැය භාගයකට වැඩිය ඇස්වලට ඉතා සමීපව එල්ලවීම නිසා දෘෂ්‍යාබාධ සහ ස්නායු ආබාධයන්ට මුල පිරීමක් සිද්ධ වෙනවා . දිනපතා බස් රථයෙන් සේවයට යන අයට මෙහි බලපෑම ප්‍රබලව දැනෙන්න පුළුවන් .
ඉරුවරාදය වැනි අසනීප තත්ත්වයකින් පෙළෙන කෙනෙකුට නම් අධික හිසරදයක් ඇතිවීමට මෙම ආලෝක ධාරා ප්‍රබල හේතුවක් වෙනවා. ඇතැම් වැඩිහිටියන් මෙම ආලෝක ධාරා වල අහිතකර බලපෑම නිසා බස් රථය තුළ ක්ලාන්ත වී වැටුණු අවස්ථා සහ අතරමගදී බසයෙන් බැස ගිය අවස්ථා මම දුටුවෙමි.
අද වන විට බොහෝ බස් රියැදුරන් අනවශ්‍ය විදුලි බුබුළු සිය බසයෙන් ඉවත් කර ඇති බව නිරීක්ෂණය උනා. එයින් පැවසෙන්නේ වරද පිළිගෙන නිවැරැදි වීමට කැමති බොහෝ පිරිසක් බස්වල සේවකයින් ලෙස කටයුතු කරන බවයි. තවදුරටත් එකඟ නොවන්නන් නීතිය මගින් පාලනය කිරීම විශාල ජනතා සේවයකි.

08/01/2025

බස් කතා 01
සීට්වලට වඩා වටින බෆල්, සීට් යටයි ඔලුව උඩයි හැමතැනම හයි කරලා. ඒවයෙං පිටවෙන සද්දෙට පපුවත් දෙදරනවා. රියැදුරු සහ කොන්දොස්තරගේ විනෝදය වෙනුවෙන් දාගෙන යන ඕනෑම දෙයක් අකැමැත්තෙන් උනත් මගීන්ට අහගෙන යන්න වෙනවා.
එකිනෙකාගේ රුචිකත්වය වෙනස්. සමහර අයට ඒ ඇහෙන ඒවා හොඳ වෙන්න පුළුවන් . එහෙත් නිතර බස්වල යනඑන කෙනෙක් විදිහට මේ ගැන මගීන්ගේ තියෙන අප්‍රසාදය මම හොඳටම දන්නවා. මේවාට විරුද්ධව කතා කළොත් බස් සේවකයින් අපට කියන්නේ බැහැලා වෙන බස් එහෙක එන්න කියලා . එහෙත් එහෙම නිදහසේ යන්න පුළුවන් බස් නැත්නම් අපි මොකද කරන්නේ?
මේ ඝෝෂාකාරී තත්ත්වය නිසා මගීන්ගේ ශ්‍රවණේන්ද්‍රියට හානි වෙනවා. මානසික ආතතිය වැඩිවෙනව. විවිධ ආයතනවල සේවයට යන අය නොසන්සුන් මනසකින් තමයි දවසේ වැඩ ආරම්භ කරන්නේ. වැඩ අවසන් කර ආපසු නිවෙස්වලට යන අයත් දැඩි පීඩනයකින් තමයි බස් එකෙන් බහින්නේ.
ඒ නිසා බස්වල අධික ශබ්දය සහිත සංගීතය නිසා ඇතිවන බලපෑම නිවසේ සිට ආයතන දක්වා විහිදුණු දෙයක් .
ගීතයක් ඇහෙන එක වරදක් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරන අයත් ඉන්නවා. මහජන අවකාශයක ඇති විවිධත්වය සහ ස්වරූපය නොදන්නා අයට එහෙම හිතෙන්න පුළුවන් . නමුත් ලස්සන රටක් හදන්න නම් නීති මගින් හෝ ලංකාවේ බස්වල සිදුවන මේ හිරිහැරය නතර කළ යුතුයි .

යෝජනා වශයෙන් බස් සේවකයින්ගේ ආකල්ප වර්ධනය කෙරෙන වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකියි. මගීන්ගේ අයිතීන් වෙනුවෙන් නොබියව හඬ නැගීමට ජනතාව පෙළඹවීම කළ හැකියි.
කැසට් යන්ත්‍ර ගලවා ඉවත් නොකරන බස්වල බලපත්‍රය අහෝසි කළ හැකියි.

07/01/2025

බස් ගැන එකදිගට ලියමි.

හැඳින්වීම
----------------
ඕනෑම සංස්කෘතියක දිගුකාලීන ඇබ්බැහිවීම් එකවර වෙනස් කිරීම පහසු නෑ. ලංකාවේ සාමාන්‍ය ජනතාව නිවැරැදි සහ හොඳ යැයි සිතා සිටින සමහර දේවල් නීතිවිරෝධී සහ අනෙකාට හානිකර දේවල් බව ජනතාව දන්නේ නෑ. ඒකට හේතුව ඒ අය ඉපදුණ දවසේ සිට ඒ දේවල් සමග ජීවත් වීම සහ ඒවා නිවැරැදි දේ ලෙස පිළිගැනීමයි.
රජය විසින් බස්‍ රථ පිරිසිදු කිරීමට ගත් වෑයම මීට බොහෝ කලකට පෙර සිදුවිය යුතුව තිබුණ දෙයක්. ප්‍රමාද වී හෝ මේ ක්‍රියාවට නංවන්න හදන්නේ දියුණු රටවල්වල තියෙන ගුණාත්මක ප්‍රවාහන සේවයක අනිවාර්ය අංශ ටිකක්. එක දවසක් හෝ දියුණු රටක පොදු ප්‍රවාහන සේවයක අත්දැකීම් තියෙන කෙනෙක් මේ වගේ දෙයකට විරුද්ධ වෙන්නෑ.
ජනතාවගේ ඇතැම් පිරිස් නොතේරුම් කමට නව ප්‍රතිසංස්කරණ විවේචනය කළත් සීමිත පිරිසක් සැලසුම්සහගතව විරුද්ධ වෙන්නේ පටු දේශපාලන අරමුණු ඇතිව.
ඉදිරියේදී ලංකාවේ බස් පිළිබඳ ලිපි පෙළක් මෙහි ලියා තබමි. ඒ අපේ රටේ අහිංසක ජනතාවගේ අනාගත යහපත වෙනුවෙනි.

16/06/2024

ඒ තමයි මිනිස්සු....

කෝටිපතියන් තනන
ලොතරැයිය විකුණලා
ණය පොතට බඩු රැගෙන
ගෙදර යන මිනිස්සූ

පවුල් වියවුල් නිවා
එකතු වෙන හැටි කියා
දික්කසාදය රැගෙන
දෙසුම් දෙන මිනිස්සූ

මනස ඇවිළෙන අයට
හිත නිවන මග දෙසා
සිය දිවිය තොර කරන
මග හොයන මිනිස්සූ

බිඳ වැටුණ රට හදා
ගොඩ නගන බව කියා
තම ගිණුම තර කරන
බලය ඇති මිනිස්සූ

හැවෝටම බණ කියා
මුහුණු පොත පුරවලා
තමන්ගේ අඩුපාඩු
වහගන්න මිනිස්සූ

- නිමල් විජේසිරි -

03/06/2024

නිරිතදිග මෝසම, සමන් දෙවි අඩවිය සහ මට පෙනෙන ගං වතුර...

25/05/2024

ආගමික නිල ඇල්ලීම ප්‍රවේශමෙන් කළ යුතුයි ...

08/01/2024

මිනිස්සු අවුස්සන්න හරිම පහසුයි
--------------------------------------------------
ඉන්දියාව හඳට ගියත් අදටත් පොළොවේ පස් කන, මළ මිනී වන්දනා කරන, දවස ගානේ අලුත් දෙවිවරු හොයලා වඳින ආගමික ඇදහිලි නිසා ජංජාලයක් වෙච්ච රටක්. දාර්ශනිකයින් පහළ වූ භූමියක් වුණත් ජනතාවගෙන් බහුතරයක් අදටත් විවිධ ඇදහිලි නිසා ගතටත් සිතටත් වද දෙමින් දුකෙහිම ඇලීගැලී සිටින රටක්.

වසර දහස් ගණනක් තිස්සේ ඉන්දියාවේ ගොඩනැගී ඇති මේ සංකීර්ණ මහා සංස්කෘතියේ බලපෑමෙන් මිදෙන්නට දකුණු ආසියාතික කලාපයේ කිසිදු රටකට හැකියාවක් ලැබිලා නෑ. සංවර්ධනයේ මාවත් සහ දර්ශක පෙනිපෙනී සිය ඇදහිලි හා විශ්වාස මත පදනම්ව දුක්විඳින්ට හුරු වුණු අමුතුම ජනවර්ග රැසක් මේ කලාපයේ ජීවත් වීම විශේෂත්වයක්.

මේ සංස්කෘතික හැසීරීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නේ දේශපාලන බලය ලබා ගැනීමට ක්‍රියා කරන ඇතැම් සටකපට පිරිසක් පමණයි. වර්තමාන ලංකා සමාජය තුළින්ද ඒ තත්ත්වය දැකගත හැකියි. සමාජ මාධ්‍යවල පළවන ඇතැම් ආගමික හැසිරීම් දැක ජනතාව නූගත් යැයි චෝදනා කළද එම හැසිරීම් සහ ප්‍රචාරණ කටයුතු සැලසුම් කෙරෙන්නේ ඉතිහාසය, ජනශ්‍රැති , මනෝවිද්‍යාව, සහ ජනමාධ්‍ය වැනි අංශ පිළිබඳ මනා දැනුමක් ඇති එහෙත් වංක පටු අරමුණු වෙනුවෙන් ක්‍රියා කරන පිරිසක් විසිනි.

මේ නිසා ලංකාවේ ජනතාව අවුස්සන්න හරිම පහසුයි. නගර, ගම්දනව්වල දේශපාලන වේදිකා තනමින් බුද්ධිමත් දේශපාලන කතිකාවක් ඇති කරන්නට එක් පිරිසක් කටයුතු කරද්දී තවත් පිරිසක් විනාඩි කීපයක වීඩියෝ එකකින් බලය ලබා ගැනීම වෙනුවෙන්ම ඊට වඩා බලපෑමක් කරන්න සමාජ මාධ්‍ය භාවිත කිරීම දක්ෂතාවක් නොවේද? මේ නිසා හැම පැත්තකම සිටින්නේ බුද්ධිමත් අය තමයි . ඔවුන් ලස්සනට ඉලක්කවලට විදිනවා. අපි ඔවුන්ගේ කුරුමානම වෙලා බලා ඉන්නවා.

29/03/2023

උඩරට රදළ ඩිම්බයකින් දෙවන වර උපදින රොඩී කුලයේ නොකියවූ කතාව : ගාඩි

සමහර සමාජ නිර්මිත සංකල්පවලින් මිනිසුන්ගේ මොළය ශුද්ධ කළාම ඒ සංකල්ප රැකගන්න තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න ඔවුන් පෙළඹෙනවා . බුලත්ගම දිසාවේ නැමැති උඩරට රදළ ප්‍රභූවරයාගේ පවුලේ උදවිය රාජ උදහසට ලක්වෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවන් වූ නිසයි. ඒකට දඬුවම් ලෙස පවුලේ සියලුම කාන්තාවන් වෙත තෝරාගැනීම් දෙකක් ලැබෙනවා . එකක් තමයි මහවැලි ගඟට පැන දිවි නසා ගැනීම. අනෙක තමයි උඩරට රොඩී කුලයට එකතු වීම.
ජීවත්වීමේ ආශාවට වඩා රදළ නම්බුව වෙනුවෙන් ගඟට පැන මැරෙන්නට වැඩිහිටි ස්ත්‍රීන් තීරණය කරනවා. එහෙත් දිසාවේගේ දෙවන බිරිඳ වූ ලාබාල ටිකිරි මැණිකේ රොඩී කුලයට එකතුවීමට තීරණය කරනවා. ඇගේ වයසේ හැටියට ඒක රැඩිකල් වැඩක්. එහෙත් ප්‍රසන්න විතානගේ ඒ රැඩිකල් පැත්ත අල්ලන්නේ නැහැ. ඔහු එය අපට පෙන්වන්නේ මරණයට ඇති බිය නිසා ගත් තීරණයක් ලෙසයි.
රදළ මානසිකත්වයෙන් පහසුවෙන් පළා යා නොහැකිව තමන්ව භාරගත් විජය නමැති රොඩී තරුණයාගේ ආදරය පිළිගැනීමට ඇය දැඩි ආධ්‍යාත්මික අරගලයක යෙදෙනවා . එහෙත් විජයගේ භූමිකාව ඇයට වඩා ඉහළ තලයක උත්තර මානුෂීය ගුණයකින් නිරූපණය කරන්නට සිනමාකරුවා සමත් වෙනවා . ප්‍රසන්න මේ නිර්මාණයේ නළුවන් අතරින් හොඳටම වැඩක් ගන්නේ විජයගේ චරිතයට පණ දෙන සජිත අනුත්තරගෙන්.

මහ වනයක තමන් සමග තනිව වෙසෙන අහංකාර රදළ කුමාරියට ඕනෑම ලිංගික බලහත්කාරකමක් කිරීමට මේ රොඩී තරුණයාට හැකියාව ඇතත් ඔහු තමන් අයත් ජන සමාජයේ උසස් ගුණාංග (රදළයින් ළඟ නැති) රකිමින් ඇගේ ආදරය ලැබෙන තුරු ඉවසා සිටී. ලී දඬුවලින් හා කොළ අතුවලින් තාවකාලිකව සකසාගත් ආවරණයක ඇයට තනිව නිදියන්නට පහසුකම් සලසන තරුණයා ගිනි මැලයක් ගසාගෙන මහවනය මැද අන්ධකාරයේ අපූරු ගෝත්‍රික රංගනයක යෙදෙයි. එය සිය ආදරය ස්ත්‍රිය වෙත ප්‍රකාශ කෙරෙන සංකේතවත් අභිනයකි.
එම අවස්ථාව Nicolas Roegගේ Walkabout සිනමා නිර්මාණයේ අවස්ථාවක් වෙත මගේ මනස වහා ගෙන ගියා. ඕස්ට්‍රේලියානු ස්වදේශික (Aboriginal ) තරුණයෙක් සිය ගෝත්‍රයෙන් වෙන්වී ජීවිතයේ පරිණත අවස්ථාවක් ලබා ගැනීම සඳහා කාන්තාර පෙදෙසක තනිව ජීවත් වන විට අතරමං වූ සංචාරක සුදු ජාතික ස්ත්‍රියක් අහම්බෙන් හමු වෙනවා. ඔවුන් බොහෝ කලක් එක්ව ජීවත් වුවත් කිසිදු ලිංගික සබඳතාවකට ස්ත්‍රියගෙන් අවසර ලැබෙන්නෑ. තමන්ගේ වංශවත් සුදු හම පිළිබඳ උද්ධච්ච හැඟීම නිසා ඇය සියලු ලිංගික ආශාවන් යටපත් කරගන්නවා. සිය ගෝත්‍රයේ සිරිත් අනුව රාත්‍රියක් මුළුල්ලේ අභිචාරමය නර්තනයක යෙදෙන තරුණයා සුදු ස්ත්‍රියගේ ආදරය ලබාගත නොහැකිව අවසානයේ දිවි නසා ගන්නවා.
එහෙත් ගාඩි නිර්මාණයේ තරුණයා සිය අභිලාෂය වෙනුවෙන් දැඩි කැපවීමකින් හා ඉවසීමකින් කටයුතු කරනවා. එහෙත් රදළයින්ගේ අමානුෂික සමූහ ඝාතනයකින් පසුව විජය හැර සමස්ත රොඩී ප්‍රජාවම අවසන් වෙනවා . සිනමා නිර්මාණයේ අවසානයේදී රොඩී තරුණයා සමග එක්වී රොඩී වංශය යළි ගොඩ නැගීමට මේ රදළ තරුණිය සිය කැමැත්ත ප්‍රකාශ කරනවා.
චිත්‍රපටය පුරාවටම සිය රොඩී වංශයේ පැවැත්ම වෙනුවෙන් රත්නවල්ලි නම් දේවතාවකට කෙරෙන ආරාධනා ගායනයක් ඇසෙනවා. ඒ දේවතාව මේ රදළ කුමාරියම නොවේදැයි ප්‍රේක්ෂකයාට සිතෙන්නට පුළුවන් .
වාර්ගික , ආගමික , ස්ත්‍රීපුරුෂ , සහ කුල අනන්‍යතා නිසා සිදුවන ප්‍රතික්ෂේප වීම්වල පිටතට නොපෙනෙන අන්තර්සබඳතාව Intersectionality යම් ආකාරයකින් හසු කර ගැනීමට ප්‍රසන්න විතානගේට හැකිවී ඇති බව ගාඩි චිත්‍රපටය පිළිබඳ මගේ නිරීක්ෂණයයි.

- නිමල් විජේසිරි -

Address

Brisbane, QLD

Website

Alerts

Be the first to know and let us send you an email when Nimal Wijesiri public page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share