08/03/2026
සාගර විශ්වවිද්‍යාලයෙන් නව සොයාගැනීමක්..!
සාගරට්‍රෙමා: ශ්‍රි ලංකා සාගර විශ්වවිද්‍යාලය නමින් නව මුහුදු සර්ප පරපෝෂිත ගණයක් සහ නව විශේෂ දෙකක්
ලෙනින් ද සිල්වා, මහාචාර්ය එරන්දි පතිරණ, මහාචාර්ය R.P.V.J රාජපක්ෂ සහ ආචාර්ය ස්ටෝම් මාටින් යන පර්‍යේෂණ කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ මුහුදු සර්පයන්ගෙන් නව පරපෝෂිත පැතලි පණුවන් (parasitic trematode) ගණයක් හඳුනාගෙන ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම පරපෝෂිතයන් Liolopidae නමින් හැඳින්වෙන කුලයකට අයත් බවත්, එම කුලයට අයත් පරපෝෂිතයන් සාමාන්‍යයෙන් ජලජ පරිසරයන්ට සම්බන්ධ උරගයන්ගේ සහ උභයජීවීන්ගේ අන්ත්‍රාංගවල ජීවත් වන බවයි. පර්යේෂකයන් සඳහන් කරන්නේ මීට පෙර මෙම පරපෝෂිතයන් විශේෂ Harmotrema නම් ගණයට ඇතුළත් කර තිබුණද, මුහුදු සර්පයන් තුළ ජීවත් වන විශේෂ සහ මිරිදිය සර්පයන් තුළ ජීවත් වන විශේෂ අතර පරිසරමය සහ වර්ගීකරණමය වශයෙන් විශාල වෙනස්කම් පවතින බවයි. ඒ හේතුවෙන් මුහුදු සර්පයන් තුළ හමුවන විශේෂ සඳහා Sagaratrema නමින් නව ගණයක් යෝජනා කර ඇති බව පර්යේෂකයන් පැහැදිලි කර ඇත. Sagaratrema (සාගරට්‍රෙමා) ගණ නාමය ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයට ගෞරව පිනිස සහ මෙම පරපෝෂිතයන්ගේ සමුද්‍ර පරිසරයේ පැවැත්ම සැලකිල්ලට ගෙන නම් කර ඇත.
පර්යේෂකයන් තවදුරටත් සඳහන් කරන්නේ මෙම නව ගණයට ගෝලියව විශේෂ 6ක් ඇතුළත් වන අතර ශ්‍රී ලංකාවෙන් විශේෂ 3 හඳුනාගෙන ඇති බවත් ඉන් විශේෂ 2ක් නව විශේෂයන් ලෙස හදුනාගෙන ඇති බවයි. ඒවා Sagaratrema rajapaksei සහ Sagaratrema rajakarunae ලෙස නම් කර ඇති අතර, මෙම විශේෂයන් පරපෝෂී විද්‍යාවට විශාල සේවයක් කල, මහාචාර්ය ජයන්ත රාජපක්ෂ සහ මහාචාර්ය රූපිකා රාජකරුණාට ගෞරව පිණිස නම් කල බවයි. Sagaratrema indicum නම් විශේෂයද මෙම අධ්‍යයනය තුළ ශ්‍රී ලංකාවේ මුහුදු සර්පයන් තුළ හමුවී ඇති බව සඳහන් කර ඇත.
පර්යේෂණ කණ්ඩායම පැහැදිලි කරන්නේ මෙම අධ්‍යයනයේදී ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ ප්‍රදේශයන් වන මන්නාරම් බොක්ක (Gulf of Mannar) සහ බෙංගාල බොක්ක (Bay of Bengal) ආශ්‍රිතව සර්පයන් එකතු කර ඇති බවයි. ඔවුන් සඳහන් කරන්නේ මසුන් ඇල්ලීමේදී අතුරුඵලයක් (bycatch) ලෙස ඇල්ලෙන මුහුදු සර්පයන් විශේෂ 7ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරපෝෂිත විද්‍යා අංශයේදී විද්‍යාත්මක පරීක්ෂණ සඳහා භාජනය කල බවයි.
පර්යේෂකයන් පැහැදිලි කරන්නේ මෙම පරපෝෂිතයන්ගේ පළමු අතරමැදි ආශ්‍රිත ජීවියා ලෙස මුහුදු බෙල්ලන් වර්ග සහ දෙවන අතරමැදි ආශ්‍රිත ජීවියා ලෙස මසුන් භාවිතා වන අතර, අවසාන ආශ්‍රිතයා ලෙස මුහුදු සර්පයන් හමුවන බවයි. තවද Liolopidae කුලයේ මුල් පූර්වජයන් මිරිදිය පරිසරයන් තුළ සිටින බවත්, මෙම නව ගණයේ පරපෝෂිතයන් මුහුදු සර්පයන් සමග සහ-පරිණාමයට (co-evolution) ලක්ව සමුද්‍ර පරිසරයට අනුවර්තනය වූ බවත් පර්යේෂකයන් සඳහන් කර ඇත. මෙහිදී තවත් එක් සුවිශේෂී කරුණක් ලෙස මම ගණයේ එක් විශේෂයක් පිලීපීන නාගයා (Naja philippinensis) තුල හමුවීම ලෙස සදහන් කර ඇත. එම විශේෂය ගොඩබිම්/මිරිදිය පරිසරයේ සිට සාගර පරිසරයට සිදුවූ සුවිශේෂ පරිණාමයේ අතරමැදි පුරුක වීමට ඇති හැකියාවද පෙන්වා ඇත. මෙම පර්යේෂණ පත්‍රිකාවට නැවත සමුද්‍රයට (Return to the sea) යන තේමාව දී ඇත්තේ ට්‍රෙමටෝඩාවන්ගේ මුල් පූර්වජයන් සමුද්‍රවාසීන් ලෙස ආරම්භ වී ගොඩබිම්/ මිරිදිය පරිසරයට පරිණාමය වී මෙම ගණය නැවතත් ගොඩබිම් සහ මිරිදියේ සිට සමුද්‍රයට පරිණාමය වීම සනිටුහන් කිරීමටය.
අවසානයේදී පර්යේෂකයන් අවධාරණය කරන්නේ මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ මුහුදු සර්පයන් පිළිබඳ සිදු කළ පළමු පරපෝෂිත විද්‍යාත්මක අධ්‍යයනයක් බවයි. ඔවුන්ගේ අදහස අනුව මෙම නව විශේෂ හඳුනා ගැනීම සහ නව ගණයක් යෝජනා කිරීම ඉන්දු-පැසිෆික් කලාපයේ ජෛව විවිධත්වය සහ පරපෝෂිත පරිණාමය ගැන නව අවබෝධයක් ලබාදෙන බවයි.
✒ Research team: Manage Lenin I. De Silva, Erandi Pathirana, R.P.V.J Rajapakse, and Storm B. Martin
🔗 DOI: https://doi.org/10.1017/S0031182026101802
📰 Issue: Cambridge University Press
📅 Published: 04 March 2026
♡ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
#පරිසර_සමාගම