15/05/2022
සරසවියේ වෙසක් පුන් පොහෝ දින පණිවිඩය.
අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාවගේ අති උතුම් ආගමික මංගල්‍යය සලකුණු කරයි. අප රටේ බොදු සැදැහැවත්හු අනාදිමත් කාලයක සිට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව, ආමිස ප්‍රතිපත්තිපූජාවන්හි නිරත වෙමින් වෙසක් සමය ගත කරති.
ලොව පුරා බොදුනුවනට සේම අපටද මෙවර වෙසක් උළෙල නිමිත්තෙන් වත් පිළිවෙත් පිරීමට සිදුව ඇත්තේ බරපතල සමාජීය සහ ආර්තික සහ දේශපාලන අර්බුදයකට මුහුණ පා ඇති මොහොතකය. මෙබඳු විපත් මිනිස් ඉතිහාසයේ විරල නැත. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ දඹදිව විසාලාමහනුවර තුන්බියකින් ඇලලී ගියේය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි කළ පරිත්‍රාණ දේශනයෙන් ව්‍යසනය දුරු විය. බුදු දහමේ උගන්වන ප්‍රතිපදාවන් අනුගමනය කරමින් අපටද මේ වෙසක් සමයේ නිරෝගී සුවය සහ ආධ්‍යාත්මික සහනය අත්කර ගත හැකි බව අපට විශ්වාසය.
පවතින දැඩි ඉන්ධන සහ බලශක්ති අර්බුද තත්වය හමුවේ නිවසේ සිට සම්මා සම්බුදු රජාණන්වහන්සේ කෙරෙහි උපන් ශ්‍රද්ධාවෙන් යුතුව ආගමික වතාවත්හි නිරතවීමට අපට පිළිවන.
“තං ච කම්මං කතං සාධු – යං කත්වා නානුතපප්ති
යස්ස පතීතො සුමනො – විපාකං පටිසෙවති”
“යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නොවේ ද, යම් ක්‍රියාවකගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටින් යුක්තව විඳින්නේ ද, ඒ ක්‍රියාව සිදු කිරීම යෙහෙකි” යනුවෙන් ධම්මපදයේ එන ඉහත ගාථාවෙන් කියැවෙයි. මේ වෙසක් සමයෙහි බුදුන් වහන්සේ දේශනා කළ පරිදි පසුතැවිල්ලට හේතු වන දේ නොකිරීමෙන් අපේ ඉදිරිමග යහපත්ව සකසා ගත හැකිය.
මේ ආපදාපන්න මොහොතේ බොදු වත් පිළිවෙත් සේම ලෙඩ රෝග නිවාරණ පිළිවෙත්ද පිළිපදිමින් රටත් ජනතාවත් සුවපත් කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. මෙවර වෙසක් මංගල්‍යය ශ්‍රී ලංකා වාසීන්ගේත්, ලෝවැසි ජනයාගෙත් නිදුක් නිරෝගී දිවියට හා ආධ්‍යාත්මික සැපතට හේතු වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමූ.
- SITC සරසවිය.