02/04/2025
📍සුදේශ් අතාවුද මෙවර සභාපති කරන්න හොඳ නැත්තේ ඇයි ?
💰 එක රැයකින් කෝටියක් අරමුදලේ රුපියල් කෝටි එකහමාරක් ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමෙන් එළියට ගෙන ගැරන්ටි ලිමිටඩ් නමින් සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි ගිණුමකට දාගෙන එහි පොලිය තමන්ගේ බූදලය ලෙස පරිහරණය කරමින් සිටියවුන් නීතිය හමුවේ බිය ගන්වා අදාළ මුදල නැවත ආදි ශිෂ්‍ය සංගමය තුළට ගෙන සුරක්ෂිත කළ සභාපති සුදේෂ් අතාවුද හොරුන්ට හොරාකන්න නොදුන් පල් හොරෙක්.
💼 ආදි සිසුන් දහඩිය මහන්සියෙන් හම්බකොට පාසල වෙනුවෙන් හිතේ සතුටෙන් කරන පරිත්‍යාගවලින් බාගෙට බාගයක් බහිරවයන් ගිලින සංස්කෘතියට එරෙහිව විවිධ වෘත්තීන්හී නමක් දිනූ සිල්වෙස්තර මහත්වරුන්ට නිලතල ලබා දී ආදි ශිෂ්‍ය සංගමය ගරු සේවයක් කොට මූල්‍ය පාරිශුද්ධභාවය අකුරටම රකිමින් 100% විනිවිද භාවයකින් කටයුතු කළ නිසා සුදේෂ් අතාවුද නැවත සභාපති නොකළ යුතුයි. එයා හිටියොත් අරක්කු තියා ප්ලේන්ටියක්වත් සංගමයේ සල්ලි වලින් බොන්න වෙන්නෙ නෑ.
🧪 මහනුවර පමණක් නෙවෙයි, මධ්‍යම පළාතේම පාසලක් සතු නවීනතම විද්‍යාගාරය නිර්මාණය කිරීමට රුපියල් ලක්ෂ පනහක් වියදම් කිරීම ලොකුම වරදක්. ෆේස්බුක් හරහා ඔන්ලයින් මාර්කට් කරන තුන්දහස් පන්සියයෙ සෙල්ලම් අන්වීක්ෂ නොගෙන එකක් රුපියල් එක්ලක්ෂ හතලිස් දාහක් වටින Microscopes දහසයක් එකම විද්‍යාගාරයක් තුළ තිබෙන විට දරුවන් ජීව විද්‍යාවට ඇබ්බැහි වන නිසා සුදේෂ් අතාවුද කර තිබෙන්නෙ බරපතල අපරාදයක්.
📚 බිත්ති වලින් වතුර බේරෙන බව දැනගත් මුල්ම දවසෙම කණිෂ්ඨ අංශයේ පුස්තකාලය ඇතුළට රිංගා බලා දෙදාහේ ආදි ශිෂ්‍ය කණ්ඩායම සමග එක්ව රුපියල් ලක්ෂ හතළිහක් වැයකර එම පුස්තකාලය නවීකරණය කිරීම වැරදියි. එක වසරට ළමුන් ඇතුළත් කළ ආදි සිසුන්ගේ අනුග්‍රහයෙන් පුස්තකාලයට අලුත්ම මාදිලියේ දැව භාණ්ඩ ලබාදීමෙන් නොනැවතී "මගෙන් පොතක් පාසලට" ව්‍යාපෘතියෙන් ලක්ෂ ගණනක අලුත් පොත් දරුවන්ට තිළිණ කිරීමට ආදි සිසුන් සම්බන්ධ කරගැනීමේ අලුත් අදහස ක්‍රියාත්මක කිරීම සුදේෂ් හා ඔහුගේ කණ්ඩායම කරපු මෝඩම වැඩක්.
🖥️ කලු ලෑල්ලට, සුදු ලෑල්ලට අමතරව ස්මාර්ට් පුවරුවට පාසල ප්‍රවේශ කරවීම අතිශය වරදක්. සුදේෂ් අතාවුදගේ ඩිජිටල් සිහින සැබෑ කරමින් ලක්ෂ පහ හය වටින ස්මාර්ට් බෝඩ් පරිත්‍යාග කළ දෙස් විදෙස් හී වෙසෙන කීර්තිමත් ආදි සිසුන් සිදුකර තිබෙන්නේ තවමත් පාසල් ගිය කාලයෙන් ඉදිරියට අඩියක්වත් නොතැබූ සමහරක් අසහනයට පත්කරන අපකීර්තිමත් වැඩක්. පාසල් පරිපාලනය සමග අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන පළමු අදියරේදීම ප්‍රාථමික පන්තිවල දරුවන්ටත් පරිගණකය හදුන්වාදුන් පාසලක් බවට සිල්වෙස්තරය ඔසවා තැබූ සුදේෂ්ගේ හෙංචයියන්ට පාසලේ ගේට්ටු වැසිය යුතුයි. සුදේෂ්ගේ වසර දෙකේදී පාසලට දුන් ස්මාර්ට් බෝඩ්, පරිගණක සියල්ල ගළවා, ඒවා කොමිස් පිට විකිණීමට දක්ෂතා පෙන්වන පිරිසකට ආදි ශිෂ්‍ය සංගමය බාරදිය යුතුමයි.
🎀 පාසලේ ප්‍රාථමික අංශයේ වසාදමා තිබූ ශාලාවක් Reading Corner ලෙස සංවිධාන කර කුඩා දරුවන්ගේ කියවීමේ ක්‍රියාකාරකම් සක්‍රීය කිරීම සුදේෂ් අතාවුද කළ අපචාරයක්. "සිල්වෙස්ටර් Reading Corner එක කොළඹ කොලෙජ්වලටත් වඩා ලස්සනයි" කී ගුරුවරුන් කවුදැයි සොයාබලා සුදේෂ් සමගම ගෙදර යැවිය යුතුයි.
📈 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පෙර වසරට වඩා දෙගුණයකින් ඉහළ නැංවීමට මුද්‍රිත පොතපත ලබා දීමද, වැඩිම ලකුණු ගත් සිංහල හා දෙමළ මාධ්‍ය සිසුන් දෙදෙනාට බයිසිකල් තෑගිදීමද කසිකබල් වැඩක්. ශිෂ්‍යත්ව විභාගයෙන් පසු English Try ව්‍යාපෘති හදුන්වාදී ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ආරම්භ කිරීමට සිසුන්ට පෙරහුරුවක් ලබාදීම බලවත් වරදක්. English Try පොත් මුද්‍රණයට සුදේෂ් අතාවුද තමන්ගේ පුද්ගලික මුදල් වසර තුනකදීම වියදම් කිරීම වැරදි පූර්වාදර්ශයක්.
🎯 පාසලේ ක්‍රීඩාව නගාසිටුවිමට Boxing Union, Rugby Union, Squash Union, Cricket Academy ඇතුලු සංගම් වලට ශක්තියක් වෙමින් වාර්ෂික ක්‍රිකට් හා පාපන්දු සැණකෙළි සදහා අනුග්‍රහය දැක්වීම නොහිබිනා වැඩක්. ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිවලි සදහා පමණක් නොව ඔලිම්පියාඩ් වැනි තරග සදහාද ගිය සිල්වෙස්ටර් දරුවන් හා පුහුණුකරුවන්ට පහසුකම් සැපයීමට තම පුද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ විස්සකට අධික මුදල් මේ අවුරුදු දෙකට වියදම් කළ සුදේෂ් අතාවුද උන්මන්තකයෙක්.
🥊️ යල් පැනගිය කෝචිං ක්‍රමවේද සහිතව ක්‍රිකට් ක්‍රීඩකයන්ට පුහුණුව ලබා දීමට පැමිණි පිරිස විසින් වලපල්ලට ගෙන යමින් තිබූ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව එයින් මුදවාගෙන ජයග්‍රහණ සොයන මාවතකට රැගෙන ඒමට කටයුතු කිරීමට ආදි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සම්ප්‍රදාය විරෝධී ක්‍රියාවක්. 2004 ආදි ශිෂ්‍ය කණ්ඩායම සමග එක්ව ක්‍රීඩා පිටියේ Washroom පිහිටුවීම, වැසිකිලි පද්ධතිය නවීකරණය කිරීම අනවශ්‍ය වැඩක්. බොක්සිං ක්‍රීඩාවේ කිරුළ දරන දරුවන් වෙනුවෙන් බොක්සිං වළල්ල නවීකරණය කිරීමට බොක්සිං සංගමය සමග එක්වීම බලහත්කාරකමක්. මේවා වෙනත් ක්ලබ් එකකින් දින නියමක් නැති මතුදාක කරන්නට සිතාගෙන සිටි වැඩ බව, කොට බැමි උඩ ඉඳගෙන හූල්ලන අය කියනු ඇසෙයි.
🎙️අබලන්ව පැවැති ජ්‍යෙෂ්ඨ අංශයේ මහජන ඇමතුම් පද්ධතිය රුපියල් ලක්ෂ පහක් වැයකොට ප්‍රමිතිගත උපකරණ යොදා නවීකරණය කිරීම මේ ඊයෙ පෙරේදා සුදේෂ් අතාවුද කරපු තවත් වැරදි වැඩක්. ජ්‍යෙෂ්ඨ අංශයේ පුස්තකාලය අපූර්ව නිමැවුමක් ලෙස ප්‍රතිසංස්කරණ කිරීමට සුදේෂ් හා කණ්ඩායම හදමින් යන පිඹුරුපත ඉරාදැමීමට වෙනත් සභාපතිවරයෙක් ගෙන ආ යුතුයි. කොළඹ පදිංචි වී සිටියත් සතියකට සැරයක්වත් නුවර එන සුදේෂ් අතාවුද තරුණ ආදි සිසුන් සමග කරපු තව තව වැඩ ප්‍රසිද්ධ වුනොත් අවුරුදු දෙකක් කකුලෙන් අදිමින් සිටිනවා මිස සමහරක්ට වෙන විසදුමක් නෑ. ඒ නිසාම අප්‍රේල් හයවැනිදාට සුදේෂ්ව සභාපතිකමෙන් එළවමු🤪