12/04/2026
කෙනෙක් ගණිතය වගේ විශයකට එතරම් දක්ෂ නොවුනහම සමහර දෙමවුපියන් ඒ දරුවා අඩු බුද්ධිය ඇති කෙනෙක් කියල හිතනවා. විශේෂයෙන් ගණිතය වගේ විෂයන් ට ඇති හැකියාව සහ සම්ප්‍රදායික බුද්ධි පරීක්ෂණ වල ආකෘතිය හරහා බුද්ධිය කියන සංකල්පය ඉතාම කුඩා සීමාවකට කොටු කරලා තේරුම් ගැනීමෙන් ඇතිවෙන වැරදි අවබෝධය මේකට හේතුවක්.
බුද්ධිය වර්ගීකරණය කරන ක්‍රම කිහිපයක් තියෙනවා, එයින් වැඩියෙන්ම පිළිගත් වර්ගීකරණයක් වෙන්නේ හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහු බුද්ධි න්‍යායයි. ගාඩ්නර්ට අනුව, බුද්ධියේ විවිධ වර්ග කිහිපයක් තියෙන අතර, ඒ සෑම එකක්ම මිනිසුන්ට බුද්ධිමත් විය හැකි විවිධ ක්‍රම නියෝජනය කරනවා.
1. තාර්කික-ගණිතමය බුද්ධිය (Logical-Mathematical Intelligence)
තර්ක කිරීමට, ගැටළු විසඳීමට සහ සංකීර්ණ ගණිතමය සංකල්ප තේරුම් ගැනීමට ඇති හැකියාව. විදිමත් විද්‍යා (formal science), තොරතුරු තාක්ෂනය සහ බොහෝ ඉංජිනේරු ක්ෂේත්‍රවල සාර්ථකත්වයට මේ බුද්ධිමය හැකියාව බලපානවා.
2. භාෂාමය බුද්ධිය (Linguistic Intelligence)
ලිඛිතව, කථා කිරීමේදී හෝ කතන්දර කීමේ දී භාෂාව ඵලදායී ලෙස භාවිතා කිරීමේ හැකියාව. මේ හැකියාව ඉහල අයට නිරවුල්ව අදහස් ප්‍රකාශ කරන්න සන්නිවේදනය වගේ ක්ෂේත්‍රවල වැඩි හැකියාවන් තියෙනවා.
3. අවකාශීය බුද්ධිය (Spatial Intelligence)
ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු විද්‍යාව සහ කලාව වැනි වෘත්තීන් සඳහා වැදගත් වන ත්‍රිමාණවලින් සිතීමේ හැකියාව මේ බුද්ධි කොටසට අයත්.
4. ශරීර-චාලක බුද්ධිය (Bodily-Kinesthetic Intelligence)
ශරීර චලනයන් පාලනය කිරීමට සහ වස්තූන් දක්ෂ ලෙස හැසිරවීමේ හැකියාව, බොහෝ විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නර්තන ශිල්පීන් සහ ශල්‍ය වෛද්‍යවරුන් තුළ දක්නට ලැබෙනවා.
5. සංගීත බුද්ධිය (Musical Intelligence)
සංගීතය වටහා ගැනීමට, අගය කිරීමට සහ නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව. මෙයට රිද්මය, තාරතාව සහ ස්වරය කෙරෙහි සංවේදීතාව ඇතුළත් වෙනවා.
6. අන්තර් පුද්ගල බුද්ධිය (nterpersonal Intelligence)
අන් අය සමඟ ඵලදායී ලෙස තේරුම් ගැනීමට සහ අන්තර් ක්‍රියා කිරීමට ඇති හැකියාව. ඉහළ අන්තර් පුද්ගල බුද්ධියක් ඇති පුද්ගලයින් බොහෝ විට සංවේදනය සහ සන්නිවේදනයේ දක්ෂයි. දේශපාලනය, අලෙවිකරණය වගේ ක්ෂේත්‍ර වලට මේ බුද්ධිය ඉහල අය වැඩි දක්ෂතාවයන් දක්වනවා.
7. අන්තර්වර්තී පුද්ගල බුද්ධිය (Intrapersonal Intelligence)
විශේෂයෙන් තමන්ගේ හැඟීම්, අභිප්‍රේරණ සහ අභ්‍යන්තර තත්වයන් ඇතුළුව තමාව තේරුම් ගැනීමේ හැකියාව. මේ බුද්ධිමය හැකියාව අනෙක් අයගේ හැගීම් තේරුම් ගැනීමටත් යොදාගන්න පුළුවන්.
8. ස්වාභාවික බුද්ධිය (ස්වාභාවික බුද්ධිය)
ශාක, සතුන් සහ ස්වාභාවික සංසිද්ධි වැනි පරිසරයේ ලක්ෂණ හඳුනා ගැනීමට, වර්ගීකරණය කිරීමට සහ ඒවා මත පදනම් වීමට ඇති හැකියාව. විශේෂයෙන් ස්වභාවික විද්‍යා (natural science) වලට අයත් ජීව විද්‍යාව, සාගර විද්‍යාව, කෘෂි විද්‍යාව වගේ විෂයන් වලින් ඉහල හැකියාවන් ගොඩනගා ගන්න මේ වර්ගයේ බුද්ධිය ඉහලින් තිබීම වැදගත්.
මේ සමහර වර්ගවල බුද්ධියේ වැඩියෙන් තාර්කික බුද්ධිමය හැකියාව (logical intelligence) වැඩියෙන් මතු වෙද්දී, තවත් සමහර වර්ගවල බුද්ධියේ ප්‍රමුඛ වෙන්නේ හැගීම් නැත්නම් භාවමය බුද්ධියයි (emotional intelligence).
මෙම වර්ගීකරණය මගින් බුද්ධිය බහු-මාන බවත්, සෑම කෙනෙකුටම විවිධ ක්ෂේත්‍ර හරහා තමන්ගේ බුද්ධිය යොදාගෙන ප්‍රයෝජනවත් කාර්යන්වල යෙදෙන්න තියෙන හැකියාවත් පෙන්වල දෙනවා.
යම් දරුවෙක් හෝ වැඩිහිටියෙක් ගේ බුද්ධිය ගැන හුදෙක් සම්ප්‍රදායික මිනුම් වලින් ඔබ්බට සිතා බලන එක සහ ඔවුන් තුල වැඩියෙන් මතුවෙලා තියෙන බුද්ධිය ට අදාළ ක්ෂේත්‍ර වලට ඔවුන්ව යොමු කරන එක සහ ඔවුන්ගේ සේවය ඒ හරහා ලබා ගැනීම වැදගත්.