13/05/2020
විසි එක් වන ශතවර්ෂයේ අප පෙර කිසිදා අත් නොවිඳි ඉතා භයානක අර්බුදයකට මුහුණදී සිටිමු. ඇසට නොපෙනෙන්නා වූ සමාජ මාරයකුට ඔබ අප දුප්පත් පොහොසත් භේදයකින් තොරව නතුවී සිටින අවධියකි මේ. නොදියුණු සමාජ, ආර්ථික, දේශපාලන පසුබිමක් ඇති රටවල් වලට මෙන්ම ලෝක ආර්ථික බලවතුන්ට පවා Covid 19 වසංගතය හමුවේ දණ නැමීමට සිදුවී තිබෙන මොහොතක සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවද මේ වන විට මෙම ගෝලීය වසංගතයට ගොදුරු වී හමාරය.
මෙම covid19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය මැඩ පැවැත්වීම උදෙසා මේ වන විට යුධ, ගුවන්, නාවික, පොලිස් ආරක්ෂක අංශද, සෞඛ්‍යය අංශයද, පරිපාලන අංශයද දැඩි කැපවීමකින් යුතුව පෙරමුණ ගෙන කටයුතු කරමින් පවතී. ගුවන් ගමන් සංචරණ අඩපණ කිරීම, ඇඟලුම් කම්හල් වසා දැමීමට සිදුවීම, සංචාරක කර්මාන්තය අඩපණ වීම, රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවා ස්ථාන වසා දැමීමට සිදුවීම ආදී කරුණු රැසක් හේතුවෙන් මුළුමහත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රබල පහරක් එල්ල වී තිබේ.
කොටි ත්‍රස්තවාදය, සුනාමි, පාස්කු ප්‍රහාරය ආදී ව්‍යසන තත්ත්ව හමුවේ නොසැලී නැගී සිටි ජාතියක් වූ අපි මේ වසංගතයද නව නිපැයුම් බිහිකිරීමෙහිලා තෝතැන්නක් කර ගැනීමට වෙහෙසෙමු. එකී නව නිර්මාණ අතර නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නිපදවනු ලැබූ නිර්මාණයක් ගැන අපට කතරගම ප්‍රදේශයෙන් වාර්තා විය.
එනම්, ස්වයංක්‍රීය විෂබීජ හරණ කුටියක් නිර්මාණය කිරීමට ප්‍රදේශයේ තරුණයින් පිරිසක් කටයුතු කර ඇති අතර එයට නායකත්වය සැපයීම අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුවකු වන අසේල සම්පත් ගමගේ විසින් සිදු කර තිබේ..
අසේල සම්පත් ගමගේ ( ඉංජිනේරු පීඨය - අග්නිදිග විශ්වවිද්‍යාලය )
අකීෂ පියුමාල්
චාමික ෂෙහාන්
චාමික සඳරුවන්
මෙම නිර්මාණයේ ඇති විශේෂත්වය වනුයේ මෙය තුලට ඇතුලු වූ පසු කිසිදු බාහිර ස්පර්ශයකින් තොරව විෂබීජහරණ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදු වීමයි. . විශේෂයෙන්ම ස්පර්ශය මඟින් පවා බෝවන covid19 රෝගය සැලකීමේදී මෙම කාරණය මූලික කොට සැලකිය යුතුය. කුටීරයට පිවිසීමෙන් පසු ස්වයංක්‍රීයව විෂබීජ නාශක දියර මුදා හැරීම සිදු වේ. සාමාන්‍යයෙන් විෂබීජ නාශක දියර සඳහා අප යොදා ගන්නේ ක්ලෝරීන් මූල ද්‍රව්‍යය වන අතර එහි ඇති අවාසිය වනුයේ ක්ලෝරීන් දියරය සම හා ගැටීම අහිතකර වීමයි. නමුත් මෙම නිර්මාණයේදී විෂබීජ නාශක දියර ලෙස යොදා ගෙන ඇත්තේ රෝහල් වල පවා බහුලව යොදා ගන්නා ඇල්කොහොල් ද්‍රාවණයයි. එම නිසා මෙමඟින් පෙර කී පරිදි අහිතකර තත්වයක්ද ඇති නොවේ.
වැඩ අවසන් කල ස්වයංක්‍රීය විෂබීජ හරණ කුටිය දෙබරවැව මූලික රෝහල වෙනුවෙන් පරිත්‍යාග කෙරුණ අතර ඒ සඳහා දෙබරවැව මූලික රෝහලේ රෝහල් අධ්යක්ෂවරයා ද සහභාගී වී සිටියේය.
මේ වෙනුවෙන් ඇප කැප වී කාලය, ශ්‍රමය හා මූල්‍ය දායකත්වය ලබා දෙමින් උපකාර කල දෙබරවැව මූලික රෝහලේ වෛද්‍ය වසන්ත විජේවීර මහතාට විශේෂ ස්තූතියක් පිරිනැමීමට නිර්මාණකරුවන් කටයුතු යොදා තිබුණි.
ලොව දිනන දිරිය දරුවනි...ඔබට AGNIEDGE මාධ්‍ය ජාලයේ උණුසුම් සුභ පැතුම්.
_රචනය - නිමේෂා දසනායක_