09/01/2026
භාවනා අත්වැල සම්පූර්ණ ලිපි මාලාව
1. ආරම්භය
බීජයකින් පැළයක් රෝපණය වීමට කරුණු කාරණා කිහිපයක් බලපායි. එය රෝපණය විමට නිසි පසක් අවශ්‍ය වේ. තවද උෂ්ණත්වය ,ජලය , පසෙහි ඇති පොහොර ගතිය, හිරු එළිය, වාතයේ පවතින ඔක්සිජන් මට්ටම වැනි කරුණු අවශ්‍ය ප්‍රමාණයට පැවැත්මෙන් ගස හොඳින් වැඩී එල දරයි. කෙතරම් සාරවත් පසක් වුවත් ඉර එළිය අඩුනම් බීජය වැඩේ ද? ඉහත කී කිසියම් දෙයක අඩුපාඩු කම් ඇති වුවහොත් පැලයේ වැඩීම බාලවේ. දුබල වේ. එසේ දුබල වූ ද අසාර වූ ද ගසකට ඉතා සුළු සුළං ප්රවාහයකටත් හානියක් සිදුකල හැකිය.ඇතැම් විට පැළය සම්පූර්ණයෙන්ම අකාලයෙ මිය යාමටද ඉඩ ඇත.
අප නිර්වාණය උදෙසා වෙහෙසේ නම් ඉහත කී බීජයෙන් ඵල දරණ ගසෙහි උදාහරණය කමටහනක් කරගත හැකිය.
අද බොහෝ බෞද්ධ බැතිමතුන් විමුක්තිය සාක්ශාත් කිරීමෙහිලා වෙහෙසෙති ,බොහෝ ධර්මය කියවති , දේශනා වලට සවන්දෙති.ඇතැමෙක් තම වටිනා කාලය භාවනා වටද යොදති.ඉහත කී කරුණු බොහෝ ප්‍රශංසාවට ලක්විය යුතු නමුත් ඒ අතරින් ඉතා සුළු පිරිසක් හැර බොහෝ දෙනෙක් තුල තම සිතෙහි වැඩීමක් නොදැක කණස්සල්ලෙන් පසුවන බව පෙනේ. දින සති මාස අවුරුදු ගෙවී ගියත් තමා ලද ආධ්‍යාත්මික දියුණුවක් නැතැයි කණස්සල්ලට පත්වේ. නමුත් නිවැරදිව භාවනා කරන බාහිර බලපෑම් වලින් තොරවු යෝගාවචරයෙකුට සිතෙහි ප්‍රීතිය අතිවිය යුතුය. මෙවන් කණස්සල්ලෙන් සිටින තත්වයකට මෙම ලිපිය කියවන පාඨක ඔබ පත්වී ඇත්නම් ලිපියට පිවිසුමක් ගත් උදාහරණය නැවත වරක් කියවා බැලුවාට කම් නැත.
මෙම ධර්මයෙන් ප්‍රයොජනයක් ගැනීමට අදිටන් කරගෙන සිටින යෝගාවචරයා ප්‍රථමයෙන් ධර්මය අසා කියවා ධර්ම දර ප්‍රායෝගික භික්ෂුන් වහන්සේලා ඇසුරු කර, තමා යා යුතු මඟ ගැන අවබෝධයක් තිබීම වැදගත් වේ. නොඑසේ නම් සිතියමක් නොමැතිව නැවක් පදවන කපිතාන් වරයෙකුට සිදුවන දේ සිදුවීමට බොහෝ සෙයින් ඉඩ ඇත. යාමට ඇති දිශාව වැරදී නොහිතන භූමීන් දෙසට නැව යාත්‍රා කොට බොහෝ කරදර වලට මුහුණ පෑ හැක. තවත් විටෙක පරක් තෙරක් නැති සයුරේ යන්නට තැනක් සිතාගත නොහැකිව දරුණු සැඩ පහරවලට ලක් වී නැව මුහුදු බත්විමටද ඉඩ නැත්තා නොවේ. මෙවන් විපත් වලින් ගැලවීමට නම් ඉතා පලපුරුදු කපිතාන්වරයෙක්ගේ සහය ගැනීම නුවණට හුරුය.
මෙසේ සූදානම් වූ යෝගාවචරයා තමා කළ යුතු වත ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ. බාහිරව අපිරිසිදුව තබාගෙන අභ්‍යන්තර ආධ්‍යාත්මික පිරිසිදු බාවයක් ලැබීමට ඉතා අපහසුය. මේ නිසා යෝගියා නිතර තමා අවට පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් වේ. බොහෝ ගැඹුරු අපහසු දේ කිරීමට පෙර තමන්ට පහසු සිතට ගෝචර වන සුලු නමුත් විමුක්තිය ළඟා කරදීමට උදව් වන කරුණු කාරණා සිදු කිරීම මැනවි. මෙම වතට තමා පිරිසිදු වීම, තමා අවට පිරිසිදු කිරීම, බුදුන් වැඳීම ආදිය ඇතුළත් වේ. බුදුන් වඳීම බොහෝ දෙනෙක් චාරිත්‍රයක් වශයෙන් කළත් එයට ඊට වඩා වැඩි වටිනාකමක් දීම මනවි. සිහියෙන් බුදුන් වැඳීම ඉතාමත් කුසල් රැස්වෙන තම සිත සමාධි කරවන කරුණකි. බොහෝ ධර්ම ග්රන්ථ වල මෙම කුසලය විස්තර කර ඇත. එවන් ග්රන්ථ පරීශීලනය කර බුදුන් වැඳීමේ අනුසස් දැන සීටීමත් යෝගාවචරයෙක් කළයුතු දෙයකි. බුදුන් වඳින විට එක් එක් බුදු ගුණයන් මෙනෙහි කිරීමෙදී තමන් ඒ ගුණයන් තමාට හැකි පමණින් දැකීමට සිතින් ස්පර්ශ කිරීමට උත්සාහ කළොත් එය තම සිතෙහි සමාධියට, ප්‍රීතිය ශ්‍රද්ධාව වැඩීමටත් ඉවහල් වේ.
දිනය ආරම්භයේ බුදුගුණ මෙනෙහි කරත් දවස පුරා තමාට හැකි පමණින් එදිනෙදා ජීවිතේ කටයුතු කිරීමේදී නැවත නැවත් බුදුගුණ මෙනෙහි කිරීම අප්‍රමාණ කුසල් රැස් කිරීමටත් සතිය, සාමාධිය වැඩි වීමටත් හේතු උපනිශ්‍රය වේ. බුද්ධානුස්සති භාවනාව වන්නේද මෙයම බහුලීකරණය කිරීමය. මෙම ක්රියාවේ යෙදෙන යෝගාවචරයාගේ ශ්‍රද්ධා ඉන්ද්රිය නොදැනුවත්වම වැඩේ. අප මහා බුදු රජාණන් වහන්සේ දෙසු ධර්මයෙන් ප්‍රයෝජනයක් ගැනීමට ඇති පළමු සුදුසුකම යෝගියාගේ සිතෙහි බුද්ධානුස්සතිය නිසා වැඩේ. ධර්මය ප්‍රායෝගිකව දැකීමේදි මේ කියන ශ්‍රද්ධා ඉන්ද්රිය ධර්මය බල ධර්මයක් බවට පත්වේ. මෙය මූලාරම්භයක් පමණකි.
මෙහිදී සමාදම් වන ශීලය ඉතා වැදගත්ය. තමා යන්නේ ආරම්භයක්, අවසානයක් දකින්නටවත් බැරි අනන්ත දීර්ඝ වූ සසරක් තුල මේ දක්වා වැඩු කෙලෙස් ප්රහාණය කිරීමටය. කෙලෙස්වට යට වෙවී කෙලෙස් ප්රහාණය කිරීමට උත්සාහ කිරීම යම් පිරිසිදු රෙදි කැබැල්ලක් සෝද සෝදා මඩේ දැමීමක් වැනිය. ශීලය රැකීම ධර්මයෙන් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වන කෙනෙකුගේ අත්‍යවශ්‍ය අංගයකි.
මෙම ලිපියේ පිවිසුම ගැන නැවත මතක් කිරීම මෙහිදී සුදුසුය. ධර්මය දැකීමත් හේතුන් නිසා සිදුවේ. සිතෙහි ශීල, සමාධි, ප්‍රඥා අවශ්‍ය පමණට වැඩුණු විට ඒ වැඩී ඇති මට්ටමට අනුව ධර්මාවබෝධය පහළ වේ. ඊට බෞද්ධයෙක්ද, අබෞද්ධයෙක්ද යන්න අදාල නැත. ධර්මය දැකීමට අවශ්‍ය හේතුන් නොවඩන තාක් ප්‍රතිඵල ප්‍රමාද වේ. ධර්මය වඩන යෝගාවචරයා මෙය තරයේ වටහාගත යුතුය.
ශීලය යනු උපාදානය කල යුතු දෙයක් නොව රැකිය යුතු දෙයක් බව යෝගාවචරයා සිතට ගත යුතුය. අන් අය පහත් කොට නොසිතිය යුතුය. තමා සීලය රකින කෙනෙක් බවත් අන් අය සීලය නොරකින්නන් බවත් සිතා උද්දාමට පත් නොවිය යුතුය. එසේ උද්දාමයට පත්වන සිතක් දුටුව හොත් වහා තමා දෙසට ඇඟිල්ල දිගුකර ගැනීම මැනවි. මක්නිසාද යත් එසේ කිරීමෙදී තමා පෝෂණය කරන්නේ තමාගේම මානයයි. තමාගේම ක්ලේශයන් ය. ශීලයක් රැකීමෙදී මේ මොහොතට අදාල කරගෙන එය රැකීම මැනවි. එසේ නොවේ නම් කුඩා කාල පරසයන් ගැන සිතා සිල් රැකීමට උත්සුක වන්න. දින පතා පන්සිල් සමාදම් වීමෙදී කිරීමට උත්සහ කරන්නේ ද මෙයම බැව් වටහාගන්න. කිලොමීටර 20ක් දුවන මැරතන්කරු දුවන්නේ එක කිලොමීටරය බැගින් 20 වතාවක් මිස එකවර කිලොමිටර 20ක් නොවන බව වටහා ගන්න. එය එසේ කිරීමෙන් සිතට පීඩාවකින් තොරව ගමන අවසන් කල හැකි බව වටහාගන්න. සීලයක් කැඩුනු අවස්ථාවක එය ගැන සිත සිතා පසු තැවීම පිරිහීමට කරුණකි. එනිසා සීලයක් කැඩුණු මොහොතක එය සිහියට නැඟුණු අවස්ථාවේම නැවත එම ශීලය සමාදන් වන්න. පෙර ශීලය කැඩීමට සකස්වු පරිසරය නැවත සකස් නොකරන බවට තරයේ අදිටන් කරගන්න. මේ අවස්ථාවේ මැරතන් කරුගේ උදාහරණය නැවත සිහියට ගැනීම මැනවි.
අප යන්නෙ සිත පිරිසිදු කර කෙලෙස් තවා තණ්හාව ක්ෂය කිරීමටය. ඉතා ගම්භීර වූ ද සියුම් වූ ද ධර්ම කාරණා තමා තුලින්ම දැකගෙන ප්රත්යක්ෂ කර ගැනීමටය. මෙය ඉතාම අවබෝධයෙන් මුල සිට කල යුතු කර්තව්‍යයකි. දියඹට බසින පිහිනුම් කරුවෙකු ගැඹුරු දියට පිහිනීමට පෙර වෙරළ ඔස්සේ ඇවිද යා යුතුය. ඉන්පසු පාද ජලයෙන් යට වී කරවටක් ගිලෙන තෙක් දිය ඔස්සේ ඇවිද යා යුතුය. ඉන් පසු තමා දන්න උපාය මාර්ග යොදා පිහිනීම ආරම්භ කළ යුතුය. මෙසේ පිහිනන පිහිනුම්කරු ගැඹුරු දියට යාමට පෙර සුලු රළ පහරවල්, දරුණු රළ පහරවල් ගල් පර ගැන අවබෝධයක් ගනී. තමා බැස අති ජලය ගැන අවබෝධයක් ගෙන ගැඹුරු දියට අපහසුවකින් තොරව පිහිනා යයි. ගොඩ සිට දියඹ ගැන විග්රහ කිරීමත්, එක වර ගැඹුරු දියේ පිහිනීමට සිත් පහල කිරීමත් නිශ්ඵල ක්රියවන්ය.
සතර කමටහන් වැඩීමද සුලුවෙන් තැකිය නොයුතුය. යුද්ධයට යන සෙබලෙකු කෙතරම් උසස් ශාරීරික හා මානසික සෞඛ්‍ය තිබුණත් ඔහු අත දරණ ආයුධ මුවහත් නොවේ නම් සිදුවන්නේ අවනඩුවකි. එම නිසා සතර කමටහන් භාවනා වශයෙන් මෛත්‍රිය, බුදුගුණ, අසුභය,මරණානුස්සතිය යෝගාවචරයෙක් වැඩිය යුතුය. මේවා චතුර් ආරක්ෂක භාවනා ලෙසද ප්‍රචලිතය.
2. චතුරාරක්ෂක භාවනාවේ ඇති වැදගත්කම
සසර කෙටි කර ගැනීමට යන මේ ගමන තුල එල්ලවන බාධා අපමණය. අප්‍රමාණය. යම් සතර බ්‍රහ්ම විහරණ සිත් දරා නැති අයෙක් නිවැරදිව මාර්ගය වටහාගෙන තමා සසර කෙටි කරගැනීමට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සිතුවිලි සිතෙහි ඇතිකර ගත් දා පටන් මාරයා ගේ උදහසටත් නොයෙකුත් තාඩන පීඩනයන්ට ලක්වීමට සිදුවේ. එදා බෝධි මුලයේදී අප බෝසතුන් වහන්සේ කොපමණ නම් මාර සේනාවන්ගේ බාධාවන්ට ලක් වූවාද? එදා මාරයා බොසතුන් වහන්සේ සිටි ඉසව්වට සුලි කුණාටු ඇතිකර මහ වැසි වස්සවා උන්වහන්සේගේ දැහැන බිදීමට නොයෙකුත් අකටයුතුකම් කලේය. අවසානයේ උන්වහන්සේගේ පහව යමින් තිබූ කෙලෙස් උලුප්පා දැමීමට තණ්හා, රතී, රඟා යන මාර දුවරු පිටත් කර හැරියේය. මෙවන් ශීලයෙන් කුසලයෙන් පින් මහිමෙන් අග්‍ර වූ උන් වහන්සේටත් මෙවන් කරදර ආවානම් අපට මාර බලපැම් නො ඒවී යැයි සිතිය හැකිද?
අද සමාජයේ බොහෝ ධර්මය හදාරන අය මාර්ගය වැඩීමේ දී චතුර් කමටහන් භාවනාවට දෙන්නේ අඩු වටිනාකමකි. එය එසේ වන්නේ මෙම භාවනාවල තිබෙන හරය හරි ආකාරව නොහඳුනන නිසාය. යම් යෝගාවචරයෙක් මාර්ගය වැඩීමට සිත් පහළ කරත්ම ඊට බාධා කරන බොහෝ බලවේග ඔහු වටා රැස්වීමත් තමන් මින් පෙර අත් නොවිඳී කරදර බාධා ළඟාවීමත් ලෝක ස්වභාවයක් ලෙස දත යුතුය. මේ බාධාවන් ගෙන් ගැලවීමට නම් ඉතා හොදින් අපි මෙම අරක්ෂක භාවනා වැඩිය යුතු බව තරයේ අදිටන් කරගත යුතුය.
යුද්ධයට යන සෙබලෙකු කෙතරම් උසස් ශාරීරික හා මානසික සෞඛ්‍යය තිබුණත් ඔහු අත දරණ ආයුධ මුවහත් නොවේ නම් සිදුවන්නේ අවනඩුවකි. එම නිසා සතර කමටහන් භාවනා වශයෙන් මෛත්‍රිය, බුදුගුණ, අසුභය, මරණානුස්සතිය යෝගාවචරයෙක් වැඩිය යුතුය.
තියුණු කඩුවක් දරා සිටින සතුරාට ලී දණ්ඩකින් පහර දී මෙල්ල කීරීමට යාමේදී සතුරාට වැඩි වාසී අත් වන්නාසේ රාග සිත් ඇති විටකදී මෙත් සිතින් එය මැඩලීමට යාම විඩාවටත් පසුබෑමටත් ඇතැම්විට හේතු වනු ඇත. කඩුවක් දරා සිටින සතුරාට තවත් කඩුවකින් හා පලිහකින් පිලිතුරු දෙන්නා සේ රාග සිත් ඇතිවිට අසුබයෙනුත්, මරාණානුස්සතියෙනුත් පිලිතුරු දීම තම සන්තානයේ ඇතී රාග ක්ලේශයට අභියෝගයක් කළ හැක. මෙයින් පෙනීයන්නේ යෝගාවචරයකුට එක් ආරක්ෂක භාවනාවක් පමණක් තිබිම ඇතැම් විට ප්‍රමාණවත් අරක්ෂාවක් නොපමුනණ බවයි.මෙසේ ද්වේශයට මෙත්සිතත් , භයට බුද්ධානුස්සතියත්, ලෝභ කෙලෙස් ඇති සිතට මරණානුස්සතියත් , කෙලෙස් සිතිවිලි වලට අනුරූපව පැවැත්වීම තුලින් ක්ලේශයන්ට යටවීමට යන සිතක් බේරාගත හැක.
එක් ආරක්ෂක භාවනාවක් පමණක් ප්‍රමාණවත් යැයි සිතා සිටින හෝ එක් ආරක්ෂක භාවනාවක් පමණක් වඩන යෝගාවචරයෙක් සිටී නම් නැවත වරක් මෙම ලිපියේ චතුර් අරක්ෂක භාවනා කොටස කියවීම මැනවි.
මෙත් සිත් වැඩීමේ දී තමාට ප්‍රථමයෙන් මෙත් සිත් පැතිරවීම වැදගත් බව බොහෝ කර්මස්ථානාචාර්යයන් පෙන්වාදී ඇත. මෙත් සිත් වඩන ආකාරය විවිධ අකාරයෙන් පෙන්වාදී ඇති පොත්පත් ද සුත්‍ර පිටකයේ බොහෝ තැන්වලත් දක්නට ලැබේ. අප කවුරුත් දන්නා කරණීය මෙත්ත සූත්රයේද මෙත් සිත් පැතිරීම පිලිබඳ විස්තරාත්මක විග්‍රහයක් ඇතුළත් වේ. ආරම්භයක් ලෙස "මම නිදුක් වෙම්වා, නීරොගී වෙම්වා, සුවපත් වේම්වා...!!!" ආදී වශයෙන් සිතා, නිදුක් වෙම්වා කියා සිතන විට දුකක් නැතිව තමා ඉතා සතුටින් සිටින අවස්ථාවක් සිතට නඟා එහි ඇති සැහැල්ලුව සිතින් අත්විඳීමට හැකිනම් මැනවි. එය එසේ නොවුවත් කාලයක් මෙත් සිත් වැඩීමෙන් ඒ සිත ස්පර්ශ කල හැක. තම නීරොගී වේවා යැයි සිතන විට තමා අසනීප වී සිටින අවස්ථාවක ඇති වූ අපහසුතාවයක් සිතට නඟා මේ අවස්ථාවේ එසේ අපහසුතාවයක් නැති වීම සුවයක්ද යන්න සිතට අත් විඳින්නට දෙන්න. නැවතත් සිතෙහි ප්‍රීතිය ඇතිවන බව ඔබට අත්විඳිය හැක. දුක් නැති, ලෙඩ රෝග නැතී මනස මොන තරම් සැහැල්ලුවක් දැයි සිතා "මම තව තවත් සුවපත් වේවා " යන සිතුවිල්ල පතුරුවන්න. මෙසේ භාවනා කිරීමෙදී තමා ඉදිරියෙන් තමාගේ රූපය මවාගෙන ඒ දෙසට මෙම සිතුවිලි පැතිරවීම මැනවි. මේ පැවසුවේ මෙත් සිත් පතුරුවන එක ආකාරයක් පමණක් බව වටහාගත යුතුය.
ආත්මරක්ෂා සටන් හදාරන ශිල්පීන් සැම දිනයකම ඔවුන්ගේ ශිල්පයන් හී ඇති වැදගත් කොටස් තනිව පුහුණු වෙයි. එම ශිල්ප ක්‍රම භාවිතා කරයි. බහුලීකරණය කරයි. එසේ බහුලීකරණය තුළ තම ආත්මාරක්ෂාව පිළිබද තමාටම යම් විශ්වාසයක් ගොඩ නැගේ. එසේ ගොඩනැඟුණ ආත්ම විශ්වාසය යම් සතුරු ආක්‍රමණයකදී කලබලයෙන් තොරව මුහුණ දීමට අවස්ථාව සලසයි. සටන් ශිල්පයා හැසිරුණේ කෙසේද එලෙසම මෙසේ චතුර් ආරක්ෂක භාවනා කරනා පුද්ගලයා සැම දිනකම මෙම භාවනා වැඩිය යුතුය. භාවිතා කලයුතුය. බහුලීකරණය කල යුතුය. එතුල අතිවන විශ්වාසය තමාට අපහසුවකින් තොරව කෙලෙස් සතුරන් නැසීමට උදව් වනු නොඅනුමනය.
3. මෙත් සිත වඩන අයුරු
දෙඇස් අන්ධ පුද්ගලයකු ඉදිරියේ දක්ෂ ඇස් බැන්දුම් ශිල්පියෙක් තම හැකියාව ප්‍රදර්ශනය කිරීමට යාම මොනතරම් අනුවණ ක්‍රියාවක්ද? කන් දෙකම බීරි පුද්ගලයෙක් ඉදිරියේ දක්ෂ වීණා ශිල්පියෙක් ශිල්ප දැක්වීම මොන තරම් නම් අනුවණ ක්‍රියාවක්ද?
මීට වඩා මෝඩ කමක් වාගේම විනාශයක් තමා අනෙකාට තරහා සිත්, ඊර්ෂ්‍යා සිත්, වෛරීය සිත් ඇති කිරීමෙදී සිදුකර ගන්නා බව පසක් කරගන්නවා නම් මැනවි. අන්ධයාට ඇස් බැන්දුම් ශිල්පියාගේ ශිල්ප ගැන වගක් නැත. නමුත් එයින් ඇස් බැන්දුම් ශිල්පියාට හානියක් ද නැත. එසේම බීරි අයෙකුට දක්ෂ වීණා වාදනයේද වගක් නැත. නමුත් වීණා වාදකයාට එයින් හානියක් ද නැත.
ප්‍රඥාවෙන් සිතන්න. ඔබ අනෙකාට ඊර්ෂ්‍යා කොට කර ගන්නේ කුමක්ද? එය අනෙකා ට සුළං පහරක් සේ වත් නොදැනේ. නමුත් ඔබේ සන්තානය ඊර්ෂ්‍යාවෙන් දැවේ. ක්‍රෝධයෙන් දැවේ. වෛරී සිතුවිලි වලින් පීඩාවට පත් කෙරේ. තමා නොදැනීම විනාශ මුඛයෙන් විනාශ මුඛයට ඇද වැටේ.
මෛත්‍රී භාවනාව කිරීමට සූදානම් වන යෝගාවචරයා තරහවේ ආදීනව, ක්‍රෝධයේ ආදීනව, ඊර්ෂ්‍යාවේ ආදීනව පළමුව මෙනෙහි කිරීම වැදගත් වේ. එමෙන්ම තරහවේ නිරර්ථක බව, ක්‍රෝධයේ නිරර්ථක බව, ඊර්ෂ්‍යාවේ නිරර්ථක බවද මෙනෙහි කිරීම ගෝචර වේ.
මෙවැනි අකුසල් සිත් ඇතිවන්නෙ යටත් පිරිසෙන් සියයට අනු නවයක්ම සත්ව හෝ පුද්ගලයන් අරමුණු කරගෙනය. බොහෝ විට තරහ, ඊර්ෂ්‍යා, වෛරීය සිතුවිලි වලට මූලික වූ පුද්ගලයා හෝ සත්වයා ගැන තම සිතේ සංඥා මාත්‍රයක් ඇතිවනවත් සමඟම ප්‍රපංච ධර්ම ලෙස තරහ, ඊර්ෂ්‍යා, වෛරීය සිතුවිලි සිතේ ජනිත වේ. එම පුද්ගලයාගේ රූපය දැකීමෙන් මෙය සිදුවිය හැක. ඔහුගේ ශබ්දය ඇසීමෙන් ඇතිවිය හැක. එසේත් නැතිනම් ඔහු ගැන කතා කරන විට මෙය ඇතිවිය හැක. මෙසේ මෙවැනි සිතුවිලි සිතෙහි ඇතිවීමට හේතු භූත වූ කාරණා සිතෙන් විමසන්න. එලෙසම මෙසේ උරණ වූ යම් පුද්ගලයකු සමග උරණ වීමට හේතු වූ කාරණාද විමසන්න. බොහෝ විට ඉතා සුලු වූ නිශ්ඵල වූ කාරණා නිසා තමා ඒ පුද්ගලයන් සමග උරණ වී ඇති බව ඔබටම වැටහී යනු ඇත. සිතෙහි යම් ක්ලේශයක් සකස් වන්නේ නම් තමාට එය දැණුනු සැණින් එහි මූලය බැලීමට පුරුදුවීම යම් යෝගාවචරයකුගේ ආධ්‍යාත්මික දියුණුවට හේතු වන බව මතක තබාගන්න. මෙසේ මනසිකාර පැවැත්වූ යෝගාවචරයා ඉන්පසු මෛත්‍රිය වැඩීම උදෙසා මෙසේ මෙනෙහි කිරීම සුදුසුය.
සොවින් පෙළෙන සිත් සුවපත් වෙත්වා...
වෛරී සිත් නැති වී සිත සුවපත් වෙත්වා...
ද්වේශ සිත් නැතිවී සුවපත් වෙත්වා...
ඊර්ෂ්‍යා සිත් නැතිවී සුවපත් වෙත්වා...
ක්‍රෝධ සිත් නැතිවී සුවපත් වෙත්වා...
සුවපත් වෙත්වා ...
සුවපත් වෙත්වා ...
සුවපත් වෙත්වා...
මෙසේ කිරීමෙදී ඉතා කණගාටු වුණ අවස්ථාවක් සිතින් ස්පර්ශ කර නැවත ඉතා ප්‍රීතිමත් අවස්ථාවක් සිතින් ස්පර්ශ කිරීමට උත්සාහ කරන්න. සුවපත් වූ සිත කෙතරම් සුවදායකද යන්න දකින්න. මෙසේ කිරීමට තරමක් දියුණු වූ ජවන ප්‍රඥාවක් අවශ්‍ය බව වටහා ගන්න. මෙය එසේ කිරීමට නොහැකි නම් තමාට හැකි ආකාරයෙන් එය කරන්න. මෙය භාවිතා කර බහුලීකරණය කරන විට එවැනි සිත් ස්ප‍්රශ කිරීමේ හැකියාව ලැබෙනු ඇත. පිලිවෙළින් ඉහත කරුණු සියල්ලට මෙය භාවිතාකොට බැලිය යුතුය. තදින් වෛරය ඇති වු සිතක් මතකයට නඟන්නට හැකිනම් එහිත්, එවන් සිත් නැති සුවසේ සිටින සිතකත් වෙනස දැකීමට හැකිනම් මැනවි. ද්වේශ සිත්, ඊර්ෂ්‍යා සිත්, ක්‍රෝධ සිත් වලටද පෙරසේම මෙය සිතින් ඒ ඒ අවස්ථාවන් ස්පර්ශ කර බැලීමට හැකියාවක් ඇත්නම් මැනවි.
මෙසේ දෙතුන් වතාවක් සිතින් මෛත්‍රී සිතුවිලි විමසීමකට ලක්කොට ඉන්පසු සොවින් පෙළෙන් සිත් සුවපත් වෙත්වා … යනාදී පඨයන් පමණක් සිහිකිරීම ප්‍රමාණවත් වේ. එවිට පෙර විමර්ශනය කළ සිතුවිලි නිසා සිත සොවින් මිදී සුවපත් වූ සැහල්ලු භාවය විද්‍යාමාන වේ. මෙහිදී සිතෙහි ප්‍රීතිය අත්විඳිය හැකිවනු ඇත. මේවා වචන වලට පමණක් සීමා නොකර හැකි සැම අවස්ථාවකදීම සිතින් ඒවා අර්ථාන්විතව ස්පර්ශ කළ යුතුය. ආරම්භයේ සිට මෛත්‍රී සිතුවිලි නොවිමසා කරන භාවනාවකට වඩා යෝගාවචරයා මෙසේ කිහිප විටක් විමසා භාවනා කිරීම සිත ඉක්මනින් සමාධි මත් කිරීමට පිටුවහලක් වනු ඇත. යමෙක් මෙසේ භාවනාව දියුණු කරයිද එය භාවිතා කොට බහුලීකරණය කරයිද නොබෝ කලකින් අසුරු සැණින් මෛත්‍රී සමාධි චිත්තයටත් නො එසේනම් මෛත්‍රී ධ්යානයකටත් සම වැදීමේ දක්ෂතාවය අතිකර ගැනීමට හැකිවනු ඇත.
මෙය ඔබට හැකි පමණින් දස දිශාවන් වලටත්, අනෙක් සතුන්ටත් පැතිරවිය හැක. මෙසේ මනස හසුරුවන යෝගාවචරයාට මුළු ලොවක් තම මෛත්‍රී චිත්තයෙන් වැසිය හැක. දස දිශාවට මෛත්‍රී කරන යෝගාවචරයා උතුරු දිශාවේ සිටිනා සියලු සොවින් පෙළෙන සත්වයන් සුවපත් වේවා යනාදී වශයෙන් පිලිවෙළින් ඊසාන දිශාව, නැගෙනහිර දිශාව, ගිණිකොන දිශාව, දකුණු දිශාව, නිරිතදිග දිශාව , බස්නාහිර දිශාව , වයඹ දිශාව, උඩ දිශාව සහ යට දිශාවන්ට මෛත්‍රීය පැතිරවිය යුතුය. මෙයින් විශාල සහනයක් අත් විඳිය හැකිය.
මෙසේ මනස හසුරුවන යෝගාවචරයකුට මනස සැහැල්ලු වී සිත සුළු සිතුවිලි ප්‍රමාණයකට කොටුවන බව දැනෙනු ඇත. එවන් අවස්ථාවකට පැමිණියහොත් දැන් "සුවපත් වේවා" යන වචනය පමණක් සිතින් සිතීම ප්‍රමාණවත් වේ. මේ අවස්ථාවේ සිතට ප්‍රීතියත් ගතට සුඛයත් අතිවිඳිය හැක. මෙය ඉතා සුළු සමාධි මාත්‍රයක් බව වටහාගත යුතුය. මින් එහාට සිතෙහි සිතුවිලි සියල්ල නැතිවී ගොස් සිත නැවතී සුඛයත් ප්‍රීතියත් පමණක් අත්විඳින අවස්ථාවක් උද්ගත වුවහොත් කිසිත් නොසිතා ඒ සිත දෙසම බලා සිටීමෙන් යෝගාවචරයාට තරමක සමාධිමත් සිතක් අත් කරගැනීමට හැක. මෙය වැඩි දියුණු කිරීමෙන් මෛත්‍රී ධ්‍යානයකට වුවද සිත පත් කරගැනීමට යෝගාවචරයාට හැකිවනු ඇත.
මෙය මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන තවත් එක් ක්‍රමයක් පමණක් බව සිතේ තබාගත යුතුය.
4. බුදු ගුණ භාවනාව
මේ ලෝකයේ යම් තැනක වටිනාකමෙන් අධික යම් දෙයක් වී නම් එයට වටිනාකමක් ආරූඪ වනු යේ එහි ඇති දුලභ බව නිසාය. හට ගැනීමට බොහෝ කාලයක් වැයවන නිසාය. දැකුම්කළු නිසාය. රත්රන් ලෝකයේ දුලභය. දියමන්ති ලෝකයේ දුලභය. මාණික්‍ය ලෝකයේ දුලභය. බෞද්ධ අපට ලෝකයේ ඇත්තේ අසම සම එක වටිනා වස්තුවක් පමණි. අප තුළ අනිත් භෞතික සම්පත් වලට වටිනාකමක් පැවතියත් බුදු කෙනෙක්ගේ වටිනාකම සමඟ සසඳන විට එය පයට පැගෙන දූවිලි බඳුය.
බුදු කෙනෙකුගේ පහළ වීම කෙතරම් දුලභද? බුදු කෙනෙක් ලෝකය තුළ පහල වීමට මොන තරම් කාලයක් ගත වේ ද? අසංඛ්‍යය අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් බෝධිසත්වයන් වහන්සේ කෙනකු විසින් දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී ධර්මයන් පූරණය කරයි. ඇස්, හිස්, මස්, ලේ, අඹු දරුවන්, ජීවිත දන් දෙමින් දාන පාරමිතාව පූරණය කරයි. මහා සාගරයේ ජලස්කන්ධය පරදාලන තරම් තම සිරුරින් ලේ දන් දෙයි. උන් වහන්සේ පාරමී පුරන කාලය පුරාවටම දන් දුන්නාලද වූ හිස් ප්‍රමාණය එකතු කළා නම් එය අකණිටා බ්‍රහ්ම ලෝකය තෙක් උසින් වෙයි. මේ ආකාරයෙන් අති දුෂ්කර වූත්, අසීරූ වූත් පාරමිතා පූරණය කරමින් උන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ, සත්වයා මේ ජරා, ව්‍යාධි, මරණ ආදී සංසාර දුකින් මුදවා සදාකාලික වූ නිර්වාණ සුවයෙන් සැනහී මේ සංසාරයෙන් සඳහටම නික්මී යාම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මයන් තමා විසින්ම අවබෝධ කරගෙන සත්වයාට දේශනා කරලීමටය. බුදුවරයකුට හැර අන් කවරකුටවත් එය සිදු කළ නොහැකිය.
උන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මස්කන්ධය කෙතරම්ද? දිනක් උන්වහන්සේ ඇට්ටේරියා වනයක් මැදින් ගමන් කරන කළ, අතට ගත් කොළ ස්වල්පයක් පෙන්වා ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කළේ, තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මස්කන්ධය මේ ඇට්ටේරියා වනයම තරම් නම්, ලෝක සත්වයාට දේශනා කළේ මේ අතේ ඇති කොළ ස්වල්පය තරම් ප්‍රමාණයක් බවයි. නමුත් ඒ ප්‍රමාණයද සංසාර දුකෙන් මිදී ඉන් එතෙර වීම සඳහා කිසිඳු අඩුවක් නැති, පූර්ණ ධර්මයක් බවය. එසේ නම් උන්වහන්සේගේ සර්වඥතා ඥාණය ගැන අපට සිතා ගැනීමටවත් හැකිද? මේ ලෝකයැ දතයුතු ධර්මතාවයන් කොතෙක් වීද, සර්වඥතා ඥාණයද ඒතාක් වෙයි. බුදුරජාණන්වහන්සේගේ සර්වඥතා ඥාණය කෙත්ව්ක් වීද, මේ ලෝකයේ දතයුතු ධර්මතාවයන් එතෙක් වෙයි. උන් වහන්සේ මේ ලෝකය පිළිබඳව නොදන්නා දෙයක් නොමැත. මේවා අතිශයෝක්තියකින් කියනා කාරණා නොවන බව දත යුතුය. වරෙක ප්‍රඥාවෙන් අග තැන්පත් සැරියුත් ස්වාමින් වහන්සේ, බුදුරජාණන්වහන්සේ හමුවට පැමිණ පැවසූයේ, ස්වාමිනි මහා සාගරයේ ජලය මැන නිමකිරීමට නොහැකිය. නමුත් යම් කෙනකුන් විසින් එය කළද, ඔබ වහන්සේගේ සර්වඥතා ඥාණය මෙපමණකැයි කිසිවකුට මැන ප්‍රමාණ කළ නොහැකිය යන්නයි. මේ අයුරින් උන් වහන්සේ උපමා කීපයක් ගෙන හැර දක්වමින් කියා සිටියේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයේ ඇති ශ්‍රේෂ්ටත්වයයි. බුදුරජාණන්වහන්සේ ගේ සර්වඥතා ඥාණය මේ මුළු අහසම තරම් නම්, සැරියුත් ස්වාමින් වහන්සේගේ ප්‍රඥාව ඉඳිකඩු සිදුරකින් දකින අහස තරම් ප්‍රමාණයක් වේ. එතෙකින් නම් උන්වහන්සේගේ සර්වඥතා ඥාණය පිළිබඳව දත යුතුය.
සසර පුරා අනේක විද පාරමි ධර්මයන් පුරා පැමිණි උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ශණයන්ගෙන් හෙබි ශ්‍රී ශරීරය මොන තරම් දැකුම්කළුද? දුටු දුටුවන් වශීකෘත කරයි. එදා ඇතැම් අය මහණ දම් පිරූවේ උන්වහන්සේගේ ශ්‍රී දේහය දෙස බලා සිටීමට තිබූ ආශාව නිසාය.
සෑම අතින්ම උන් වහන්සේ අසම සමය. උන්වහන්සේ අසම වන්නේ තවත් බුදුකෙනෙකුට හැර අන් කවරෙකුටත් නොමැති මහා සර්වඥතා ඥාණයකින් සමන්නාගත වන නිසාය. අන් කවරකුටවත් නැති සෘධි විද ඥාණයන්ගෙන් සමන්නාගත නිසයි. මහා සමාධි ස්කන්ධයකින්, මහා කරුණා ගුණයකින් සමන්නාගත නිසයි. මෙකී නොකී බුදු කෙනෙකුටම පමණක් සුවිශේෂ වූ අති විශාල ගුණස්කන්ධයකින්, ඥාණ සම්පත්තියකින් හෙබි නිසාය. උන්වහන්සේ සම වන්නේ තවත් ලොව පහළ වුන සහ ඉදිරියේදී පහළ වීමට නියමිත බුදුවරයාණන්ට පමණක් සම කළ හැකි නිසා ය. මෙවැනි අසම සම උත්තමයකු ගැන මෙනෙහි කිරීමෙන් ඇති වන කුසලය ගැන කවර නම් සැකයක්ද? අප නිතර කෙලෙස් බරිත සිත්වලින් කෙලෙස් පෝෂණය කරමින් සිටී. සාමාන්‍ය මනසක ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ ආයතන වලට ගෝචර වන අරමුණු මතය. අපි නිතරම රාග, ද්වේශ, මෝහ සිත් ඇතිව කාලය ගත කරයි. මෙවන් සිතක බුදුකෙනෙක් ගේ ගුණයන් මෙනෙහි කිරීමට සිත් ඇතිවීම කෙතරම් නම් භාග්‍යක්ද යන්න සිතා බලන්න.
බුදුගුණ සිහිකරමින් කරන භාවනාව අති මහත් වූ කුසලයකි. මක්නිසාද යත් අපි සිහිපත් කරන්නේ රාගය යේ මුල තමා විසින්ම සොයාගෙන එය ප්රහාණය කල උතුම් වූ ඒ බුදු රජාණන් වහන්සේගේ ගුණයි. ද්වේශයේ මුල තමා විසින්ම අවබෝධ කරගෙන එය ප්රහාණය කල උතුම් වූ ඒ බුදු රජාණන් වහන්සේගේ ගුණයි. මෝහයන් ගේ මුලයන් තමා විසින්ම අවබෝධ කරගෙන එය ප්රහාණය කළ උතුම් වූ ඒ බුදු රජාණන් වහන්සේගේ ගුණයි.
මුලිකව බුදුගුණ වැඩීමට සැරසෙන යෝගාවචරයා බුදු රජාණන් වහන්සේ ගැන තම සිතට ශ්‍රද්ධාව ඇතිවෙන ධර්ම කතා හොඳින් කියවා සිතේ ධාරණය කර ගතයුතුය. කෙනෙකුට උන්වහන්සේ සත්වයාට කරුණාව දැක් වූ ආකාරය කියවීම ඇසීම ශ්‍රද්ධා ඉන්ද්රිය වඩ වඩාත් ක්‍රියාත්මක වීමට හේතු වේ. තවත් අයෙකුට උන් වහන්සේ පුරුෂයන් දමනය කළ ආකාරය කියවීම ඇසීම ශ්‍රද්ධා ඉන්ද්රිය ඒ අයුරින් ක්‍රියාත්මක වීමට හේතු වේ. තවත් අයෙකුට උන්වහන්සේගේ සර්වඥතා ඥාණය ගැන ඇසීමෙන් සිතේ ශ්‍රද්ධා ඉන්ද්රිය බලවත් ලෙස ක්‍රියාත්මක වීමට හේතු වේ. මෙසේ තමා විසින්, අප සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේ ගේ කිනම් හෝ ගුණයකට බොහො ළැදි කමක් දක්වන්නේද යන්න සිතාබැලිය යුතුය. එසේ තමා කැමති බුදු ගුණය ගැන කරුණු කාරණා රැස්කර කියවා බලා උන් වහන්සේ මෙම ගුණය කෙසේ වඩන්නට ඇත්ද යන්න විමසිලිමත්ව මනසිකාර පැවැත්වීම භාවනා යෝගියාගේ සන්තානයේ ශ්‍රද්ධාව වැඩිවීමට උපකාර කරගත හැක.
මෙසේ කීහිපවිටක් විමසා බුදුගුණ නවය පිළිවෙලින් වෙන්වෙන්ව ඒවාහි තේරුම දැන සිතට නඟමින් භාවනා කිරීමෙන් බුදුගුණ භාවනාව වඩාගත හැක.
අරහං
සම්මා සම්බුද්ධො
විජ්ජාචරණ සම්මපන්නෝ
සුගතො
ලොකවිදූ
අනුත්තරො පුරිසදම්ම සාරථි
සත්ථා දේවමනුස්සානම්
බුද්ධො
භගවා
තමා ඉදිරියේ බුද්ධ රූපයක් සිතින් මවාගෙන ඒ බුද්ධ රූපය වටා සිතට නඟන බුදුගුණය පැතිර ඇති ආකාරය සිතින් දැකීමද භාවනාව තුලින් සමාධියක් ලැබාගැනීමට උපකාරීවේ.
සිතෙහි සිතුවිලි අඩූවී සිත පිට නොයා තරමක් සිත සමාධි වූ විට තමාට වැඩියෙන්ම කැමති බුදුගුණය පමණක් නැවත නැවත මෙනෙහි කිරීම සමාධි සිත තවත් වැඩීමට උපකාර කර ගත හැක. මෙහිදීද යම් අවස්ථාවක යෝගියාගේ සිතේ සිතුවිලි හිස්වී ගොස් බුදුගුණ ගැන සිතුවිලි පහල කිරීමට අමතර අයාසයක් ගැනීමට සිදුවන අවස්ථාවක් පැමිණිය හොත් ඒ අවස්ථාවේ තිබෙන ප්‍රීතියත්, සුඛයත් දකිමින් ඒ දෙසම බලා සිටින්න. මෙය බුදුගුණ භාවනා වෙන් ලැබිය හකි ඉතා සුළු සමාධි මට්ටමකි. ඇතැම් විට යම් ආලෝක සංඥාද තම සිත තුළ මේ අවස්ථා වේ ඇතිවිය හැක. තවත් අයෙකුට ඉතා පැහැදිලි බුද්ධ රූපයක් සිතේ විද්‍යමාන විය හැක. මෙම ආලෝක සංඥා හෝ රූප පාදක කොට ඒවා වශීකෘත කොට කරන්නාවූ භාවනා ක්‍රම ඇතත් ඒවා ගැන විස්තරයක් මෙහිලා සදහන් කරනු නොලැබේ.තවද බුද්ධ ජීවිතය තුල සිදු වූ විශේෂ අවස්ථා වලින් තමාට වඩාත් ශ්‍රද්ධාව ඇතිවූ අවස්ථාවක් සිහියට ගෙන එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ සිත තම සිතින් ස්පර්ශ කිරීම තවත් ඉතා සාර්ථක බුදු ගුණ භාවනා ක්රමයකි. අපට බුදු කෙනෙකුගේ සිත ස්පර්ශ කල නොහැකිය. එය කල හැක්කේ තවත් බුදු කෙනෙකුටම පමණි. නමුත් අපි මේ අවස්ථාවේ අපිට වැටහෙන ලෙස එම අවස්ථා සිතෙන් දැකීමට උත්සාහ කිරීම යෝගාවචරයාට විදර්ශනා වඩන කලකදි බොහෝ ප්‍රයෝජනවත් වේ. මෙහි සඳහන් කර ඇත්තේ බුදුගුණ භාවනා කරන කිහිප අකාරයක් පමණක් බව මතක තබාගන්න.
5. අසුභ භාවනාව
බැලුනයකට අසූචි පුරවා එහි කට හොදින් වසා පිරිසිදු කොට විසිතුරු චිත්‍ර වලින් පිට විසිතුරු කල අවස්ථාවක් සිතන්න. බැලුමේ පෘෂ්ඨය මෘදුය. එය පිටත විසිතුරුය. එහි ඇතුලත ඇති දේ නොදන්නා තාක් එය ස්පර්ශයට ප්‍රියය. අප අතර සුන්දර කාන්තාවන් සිටී. කඩවසම් පුරුෂයන් සිටී. ඇකමැත්තෙන් හෝ කිව යුත්තේ කෙතරම් සුන්දර වුවත් කෙතරම් කඩවසම් වුවත් ඔවුන්ද ඉතා සිනිදු පටලකින් වැසුණු අසූචි පිරවූ බැලුම් බෝල වැනිය. පිටත සුන්දරය. සේවනයට ප්‍රියය. නමුත් මිලිමීටරයක් ගැඹුරින් ඇත්තේ ලේ වැහැරෙන මස් වැදලිය. අසූචි වලටත් අන්ත පිලිකුල් ස්වභාවයන්ය. අප පැවසූ උදාහරණයේ අසූචි වැගිරෙන්නේ එක් දොරකින් පමනී. එහෙත් මනුෂ්‍ය ශරීරය තුල නව දොරකින් අසූචි වැගිරේ. සිතන්න අප කෙතරම් මුලාවී ඇත් ද?
යමක් නිසා සිතෙහි ඇතිවන සිතුවිලි තමාගේ ප්‍රඥාව අනුව වෙනස් වේ. වෙනත් ආකාරයකට පැවසුව හොත් තමාගේ සිතට අරමුණුවන වස්තුව ගැන ඇති දැනුම අවබෝධය මත වෙනස් වේ. අසූචි බැලුමේ උදාහරණය දෙස බලන්න. විසිතුරු බලුමෙහි ඇතුලත ඇති දේ කිසිවක් නොදත් අයෙක් ඒ බැලුමට අසාවෙන් පසුවේ. ඒ බැලුම ඇත්තේ අන් අයගේ ග්‍රහණයේ නම් "අමේ මටත් මේ වගේ ලස්සන බැලුමක් තිබුණා නම්" වැනි රාග සිත් පහල කරයි. බැලුමේ පිට ඔපයට රැවටේ. නෙත ගැටෙන වාරයක් වාරයක් පාසා ඒ කෙරෙහි අසාවක් ඇති වේ.
යම්දෙයක් භාවිතා කර බහුලීකරණය කළ විට එය ධාරණය වී ප්‍රබල සිතක් බවට පත්වේ. මෙය භාවනාවට පමණක් නොව් රාග ද්වේෂ සිතුවිලි වලටත් එක සේ සත්‍යය වේ. මෙසේ සිත වැඩූ පුද්ගලයා තමාට නැති මෙ විසිතුරු දේ ලබා ගැනීමට නොයෙක් දේ කර විඩාවට පත්වේ.
තවත් අයෙක් මේ බැලුම තුල පුරවා ඇති අසූචි පියවි ඇස් දෙකෙන් දැක්කා යයි සිතන්න. ඔහු ඇත්ත ඇති සැටියෙන් දකී. ඔහුට මේ බැලුනය දැකීමෙන් ඇති වන්නේ ඉමහත් පිලිකුලකි. අවිද්‍යාව ක්‍රියාත්මක වන ආකාරයත්, ඇත්ත ඇති සැටියෙන් දන්නා ප්‍රඥාවන්තයා ගේ සිත ක්‍රියාත්මක වන අකාරයත් මෙ සුලු උදාහරණයෙන් දකින්න.
ඇත්ත ඇති සැටි නොදත් අයෙක් අසූචි බැලුනයට ඇලුනේ යම් සේ ද, බාහිරින් සුන්දර සිත්රින්ට පුරුෂයන්ට අඥාණ පුද්ගලය ඇලේ. එය නැවත නැවත අනුවණ මනසිකාරයෙන් සේවණය කරයිද ඒ තරමට ඔහු ඒ ඇලෙන රූපය ප්රබලකර ගනි. අවසානයෙ එය ලබා ගැනීමට දඩු මුගුරු දරයි. අසූචි බැලුනය යමෙකුට එපා වූයේ යම් සේ ද කුණු කය ගැන නිවැරදි මනසිකාර පැවැත්වු යෝගාවචරයා කෙතරම් සුන්දර ස්ත්‍රියක්, පුරුෂයෙක් දකින්නේද අසුබ සංඥවෙනි.
ඔබ අපමණ කුඩා වැසිකිලි කැසිකිලි දැක ඇත. මෙම වැසිකිලි අසලින් ගමන් කරද්දී අප තුල පිලිකුල් සංඥාව පහල වේ. ඒවා තුළින් එතරම් ගදක් වහනය නොවූවත් මෙවන් තැනක් ළගින් ගමන් කිරීමෙදී ඉබේම අපගේ හිත වෙනස් වේ, ඇතැම් විට නාසය හැකිලේ. පය ඉක්මන් කෙරේ. එවන් දර්ශනයක් ඇස ගැටුණු සැණින් ඔබ ඉබේ ක්‍රියාත්මක වන ආකාරය මතකයට නගන්න. මෙසේ වන්නේ එම ස්ථාන ගැන අප සිතේ පිලිකුල් සංඥාවක් වැඩී ඇති නිසාය.
ඉහත උදාහරණ හොදින් විමසන්න. අප ශරීර ඇතුලාන්තයේ නිතර මල මූත්‍රා පවතින්නේය. ඊට අමතරව සෙම්, සොටු, දහදිය, කෙල, පිත, වමණය වැනි මොනතරම් නම් අසුභ, පිලිකුල් සහගත දේ අප මේ ශරිර කූඩුව තුල දරා සිටින්නේ ද? මොහොතක් සිතන්න අප ජංගම වැසිකිලිවලටත් වඩා අන්තය. ඇත්තෙන්ම අප වැසිකිලියක් අසලින් යනවිට යම්සේ පිලිකුල පහල කරයිද එසේ දෙතුන් ගුණයකින් ප්‍රබල පිලිකුල් සිත් කාන්තාවන්, පුරුෂයන් හා අනෙත් සත්වයන් දැකීමෙන් ඇතිවිය යුතුය. එය එසේ වන්නේද නැත. අපි අවිද්‍යාවෙන් වැසීගිය දරුණු කාම සැඩ පහරට හසූවී ගසාගෙන යන්නවුන්ය. ඔවුනට අසූචි වල වගක් නැත. සෙම් සොටු වල වගක් නැත. කාමයෙන් නන්දි රාගයෙන් මත්වී සිහි විකල් වී මෙවන් අසූචි කදු සේවණයෙන් සතුටුවේ. ඒවාට වශීවේ. තමන්ගේ කර ගැනීමට වෙහෙසේ. ඉහත උදාහරණ මනසෙන් විමසන්න. තමාට හැකි අයුරින් අවබෝධ කරගෙන මෙම මනුෂ්‍ය කයේ අති අසුභ බව නිරර්ථක බව වටහාගන්න උත්සාහ කරන්න. එදිනෙදා ජීවිතයේ පර්යන්ක භාවනාවක් නොකරන අවස්ථාවන් වලදි මෙවැනි මනසිකාර පැවත්වීම සිදුකල යුතුය. පිලිකුල් භාවනාව කරිමට යන යෝගාවචරයාට මෙවන් කරුණු කරණා ගැන ඉතා තියුණු අවබෝධයක් තිබීම වැදගත්වේ.
ප්‍රථමයෙන් පිළිකුල් භාවනාවට හිදගත් යෝගාවචරයා තම සිත, හිස මුදුනේ සිට දෙපතුල දක්වාත්, නැවත දෙපතුල සිට හිස මුදුන දක්වාත් තම සිත රැගෙන යන්න. යම් අවස්ථාවකදී තම සිරුරේ කොටස් ඉතා පහැදිලිව සිත තුල දර්ශණය වීමක් සිදුවේ නම් එයට ඉඩදී තමා සිදු කල කර්තව්යයෙම නියැලෙන්න. මෙසේ දෙතුන් වතාවක් කිරීමෙදී තම ශරීරය අවට තම සිත තබා ගැනීමේ ශක්තියක් ඇතිවනු ඇත. දැන් කෙමෙන් සිරුර අභ්‍යන්තරයට කෙමෙන් ගමන් කරන්න. කෙස්, ලොම්, නිය, දත්, සම, මස් පිඩු, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දළඹුව, බඩදිව, පෙනහලු, අකුනුව ඇටිය , ඇකුනුබහන්, නොපැසුනු ආහාර, පැසුනු ආහර, හිසි මොළ, පිත, සෙම්, සැරව , ලෙය, දහදිය, මේදය, කදුළු, වුරුනුතෙල්, කෙල, සොටු, සදමිදුළු, මූත්‍ර,
පිලිවෙලින් පහත සදහන් දෙතිස් කුණුපය මනසින් මෙනෙහි කරන්න. එවා පිලිකුල් සංඥාවෙන් දකින්න. මේ එක් එක් පදයක් සිතට නැගෙද්දී හුදෙක් එය වචනයකට, පදයකට සීමා නොකරන්න. එවා ගැඹුරින් සිතින් ස්පර්ශ කරන්න. ඒවා සිතෙහි මවාගන්න උත්සාහ කරන්න. මේ එක් එක් පදයට අදාල අසුභ කොටස සිහිකරනවාත් සමගම මනසේ දිස්වේ නම් එය බොහෝ පැසසුමට ලක් කල යුතුවේ. එසේ නොවුණා කියා පසුබට නොවන්න. සෑම යෝගාවචරයකුටම එය එසේ නොවන බව මතක තබා ගන්න.
පිලිවෙලින් මුලසිට අගටත්, අගසිට මුලටත් මෙම දෙතිස් කුණප කොටස් සිහියට නගන්න. ටික වේලාවකින් අයාසයකින් තොරව චිත්‍රපටයක් සේ මේ දෙතිස් කුණපය හිතේ ඇදී යද්දී එයට ඉඩදී ඔබ පසෙකට වී ඒ දෙස බලන් ඉන්න. සිත තුළින් එම දර්ශන තුනිවී තුනීවී ගොස් සිත හිස් වූ ස්භාවයක් පැමිණියහොත් එයට ඉඩදී කිසිවක් නොසිතා සිතට ඉන්නට ඉඩ හරින්න. සිත නිබ්බිදාව ප්‍රකට වී මුළු ලොවකින් පළා යන්නට වැනි ප