01/11/2023
🔴 ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලෝක ජාතික පාසල ආරම්භ කොට අදට (01) වසර 83 යි. චිරං ජයතු! විදු මවුනි.
එවකට ත්‍රිකුණාමලය ෂන්මුගා හින්දු බාලිකා විදුහලේ විදුහල්පතිනියක ලෙස කටයුතු කල බේබි සිල්වා සරංගුහේවා වත්මන් රාජකීය විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය වූවා.
වර්ථමානයේ පාසල පිහිටා ඇති ස්ථානයට වයඹින් පිහිටි දුම්කොළ වත්ත ප්‍රදේශයේ පොල් අතු හෙවිලි කල කුඩා ශාලාවක කනිෂ්ඨ විද්‍යාලය නමින් පාසල ආරම්භ කර තිබුණා. දැන් එම ස්ථානයේ පාසල් ගුරු නේවාසිකාගාර ඉදිකර තිබෙනවා. ඇයට කෘතගුණ දැක්වීමක් ලෙස පාසලේ බුදු මැදුර අභියස 1980 දශකයේ පිළිරුවක් ස්ථාපිත කර තිබුණා. එය මේ වනවිට තිබේදැයි දන්නෙ නැහැ.
ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් 1985 - 89 කාලයේ මේ පාසල වසා දැමුණා. එය ඉන්දීය සාම සාධක හමුදාව භාරයේ තැබුණා. එම කාලයේ දී සංඝමිත්තා විශ්‍රාම ශාලා බිම තුල, තරුණ විදුහල්පතිවරයකු වු ආනන්ද ගුණරත්න හේවාවිතාරණ බොහෝ දුෂ්කරතා මැද පාසල පවත්වාගෙන යමින් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ගෙන එමින් සිටියා.
ත්‍රස්තවාදී ක්‍රියා යම් තරමකට පාලනය කිරීම නිසාත් ඉන්දීය සාම සාධක හමුදාව පිටව යාම නිසාත් 1991 දී පාසල යලිත් විවෘත කෙරුණා.
සංඝමිත්තා විශ්‍රාම ශාලා බිමෙන් වර්ථමාන ස්ථානයට පාසල රැගෙන පැමිණි තරුණ හේවාවිතාරණ විදුහල්පති වරයා පාසල භෞතික වශයෙන් මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද ගොඩනගනු ලැබුවා. 1997 පමණ වනවිට පාසල තුල සිසුන් 2000 කට ආසන්නව සිටියා.
ඔහුගේ කාලය තුල විද්‍යාලෝක විද්‍යාලය ලෙස හැඳින්වු පාසලට "රාජකීය" නාමය හිමිව "ජාතික" පාසල් කාණ්ඩයට ද ඇතුලත් කෙරුණා. විසි වසරක් පුරාවටම රාජකීය නාමය ඉහළින් ඔසවා තැබීමට සිය කාලය, ධනය, ශ්‍රමය හා දහදිය වැගිරූ ආනන්ද ගුණරත්න හේවාවිතාරණයන් දැන් විශ්‍රාම සුවයෙන් පසුවෙනවා.
ඔහු පාසලෙන් නික්ම ගිය පසු පාසල් ශ්‍රවණාගාරය "සදානන්දනීය" ශ්‍රවණාගාරය ලෙස ඔහුගේ නමින් නම් කෙරුණා. ඔහුගේ නමින් කිසිවක් නම් කරනවාට ඔහු තුල කිසිදු කැමැත්තක් තිබුණේ නෑ. එය මා පුද්ගලිකවම දැන සිටියා. නමුත් ඔහුට දක්වන කෘත ගුණ සැළකීමක් ලෙස එය එලෙසම සිදුකෙරුණා. ඔහු නැතත් ඔහු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් කල සේවය සදා ආනන්දනීය වන හෙයින් එය එලෙස නම් කෙරුණා.
පාසලේ ආදි සිසුවකු වු අජිත් ප්‍රසන්න පාසලේ වත්මන් නියමුවා ලෙස කටයුතු කරමින් සිටිනවා. යුද සමයේ දරුවන් වෙනුවෙන් කැපවු ගුරුවරුන් බොහෝමයක් අද මහලු වියේ පසුවනවා. ඔහුන් සියල්ලන්ම එදා දරුවන් වෙනුවෙන් කල කැපකිරීම් සදාකාලික මතකයේ රැඳේවී.
රාජකීයයෙන් බිහිවු දරුවන් රාජ්‍ය බුද්ධි සේවාවේ සිට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ත්‍රිවිධ හමුදා සන්නද්ධ ඒකක, ව්‍යාපාරික හා සිනමා ලෝකය, සාහිත්‍ය හා ජනමාධ්‍ය, ක්‍රීඩා, දේශපාලනය වැනි විවිධ වෘත්තීන් තුල බැබලෙමින් සිටිනවා.
ඉතින් රාජකීය විදු මවුනි ඔබට චිරං ජයතු!